Wednesday, April 01, 2020

තොරතුරු පද්ධති - 04 කොටස - පද්ධති සංවර්ධන ජීවන චක්‍රය හැදින්වීම හා අවශ්‍යතා හඳුනා ගැනීමේ අදියර


තොරතුරු පද්ධති සංවර්ධන ජීවන චක්‍රය
System Development Life Cycle


අද අපි හමුවන්නේ තොරතුරු පද්ධති පාඩමේ හතරවන කොටසත් සමගයි. අද මාතෘකාවත් ඉතා වැදගත්. අපි පළමුවෙනි පාඩමේදී  කතා කලා යම් ආයතනයක් පරිගණකගත කිරීමේදී එය යම් කිසි පිළිවෙළකට සැලසුම්සහගතව සිදු විය යුතු බව. ඉතිං ඒ විදිහට සැලසුම්සහගතව පද්ධතියක් නිර්මාණය කරන පිළවෙළ පිළිබඳව අපි අද කතා කරමු.
අපේ මාතෘකාව තමයි තොරතුරු පද්ධති සංවර්ධන ජීවන චක්‍රය කියන එක. ඉංග්‍රීසියෙන් කියනවා system sevelopment life cycle (SDLC)  කියලා.

මොකද්ද මේ පද්ධති සංවර්ධන ජීවන චක්‍රය කියලා කියන්නේ?

පද්ධති සංවර්ධන ජීවන චක්‍රය කියලා කියන්නේ තොරතුරු පද්ධතියක් ගොඩනැගීමට භාවිතා කරන පියවර සමුදායකින් යුත් ක්‍රියාවලියක්. 
මේක ජීවන චක්‍රයක් කියලා හඳුන්වන්න හේතුව තමයි මෙහි නිශ්චිත අවසානයක් නොමැතිවීම. හරියට ජල චක්‍රය වගේ.
ඉතිං පද්ධති සංවර්ධන ජීවන චක්‍රයේ පියවර 6 ක් අපට හඳුනා ගන්න පුළුවන්. ආයතනයකට අවශ්‍ය  පද්ධතියක් නිරමාණය කර ගත යුත්තේ එම පියවර අනුවයි.

අපි බලමු ඒ පියවර මොනවද කියලා.


1.අවශ්‍යතා හඳුනා ගැනීම. (Identification of requirments)
2.විසඳුම සැලසුම් කිරීම. (Designing the solution)
3.විසඳුම කේතකරණය.(Coding the solution)
4.විසඳුම පරීක්ෂා කිරීම හා දෝෂ ඉවත් කිරීම.
(Testing & Debuging)
5.පද්ධතිය පිහිටුවීම. (Deployment of the system)
6.පද්ධතිය නඩත්තු කිරීම.(Maintenance of the system)

මේ පියවර හය අනුගමනය කරන විට ඕනෑම ගැටළුවකට අදාළව ඕනෑම සංවිධානයක් සඳහා තොරතුරු පද්ධතියක් නිර්මාණය කිරීමේ හැකියාව තිබෙනවා. 
මේ පියවර අනුව යම් පද්ධතියක් ස්ථාපිත කර පවත්වාගෙන යාමේදී නව අවශ්‍යතා මතුවිය හැකි අතර එවිට ඒවා සපුරා ගැනීමට පළමුවෙන්ගි පියවරට ගොස් මෙම ක්‍රියාවලිය පුනර්කරණය කළ යුතු වෙනවා. ඒ අනුව මෙය ආයතනයකදී නොනැසී පවතින අඛණ්ඩ ක්‍රියාවලීයක්. ඒ නිසා මේ ක්‍රියාවලිය චක්‍රයක් ලෙස හඳුන්වන්න පුළුවන්.

අපි දැන් බලමු මේ එක් එක් පියවරේදී කළ යුතු කාර්යයන් මොනවාද කියලා.

අවශ්‍යතා හඳුනා ගැනීම.


මෙහිදී අවශ්‍යතා කියලා කියන්නේ පද්ධතිය මගින් ඉටු කර ගත යුතු කාර්යයන් මොනවාද යන්නයි. 
අවශ්‍යතා හඳුනාගැනීමේ පියවරේදී සිදු කරන්නේ පද්ධතිය මගින් ඉටු කර ගත යුතු කාර්යයන් මොනවාද යන්න හඳුනා ගැනීමයි. බොහෝ විට පද්ධතිය හඳුන්වාදීමට බලාපොරොත්තුවන සංවිධානය තුළ මේ වන විට අත්යුරු පද්ධතියක් තිබෙන්නට පුළුවන්. එසේම සමහර විට පරිගණක පාදක පද්ධතියක් තිබෙන්නටත් පුළුවන්.

ඒ ආකාරයට පවතින පද්ධතිය පිළිබඳව පූර්ණ විමසීමක් සිදු කර නව පද්ධතියේ අරමුණු, ප්‍රතිලාභ, කාර්යක්ෂමතාව ආදී දේ පිළිබඳව සොයා බලා ඒවා සටහන් කර ගැනීම මෙහිදී සිදු කළ යුතුයි.

මෙහිදී පද්ධති විශ්ලේෂක විසින් පවතින පද්ධතිය සම්පූර්ණයෙන් අධ්‍යයනය කර නව අවශ්‍යතා හදුනා ගනු ලබයි. මෙහිදී මේ සදහා අවශ්‍ය දත්ත රැස් කර ගැනීමට විවිධ ක්‍රමවේද යොදා ගැනීම සිදු කෙරේ.

      ·       නිරීක්ෂණය (Observation)
      ·       සම්මුඛ සාකච්ජා (Interview)
      ·       ප්‍රශ්නාවලි (Questionnaires)
      ·       වාර්තා හෝ ලිපිගොනු නිරීක්ෂණය     
         (Document sample collection)
      ·       මූලාදර්ශ (Prototyping)

උදාහරණයක් ලෙස දැනට අත්යුරු ක්‍රමයක් ලෙස ක්‍රියාත්මක වන පාසල් පුස්තකාල පද්ධතියක් පරිගණක පාදක පද්ධතියක් බවට පත් කිරීමට සිදු වූයේ යැයි සිතමු. මෙහිදී පද්ධති විශ්ලේෂක  ඇතුළු පද්ධතිය ගොඩ නගන කණ්ඩායම හා ආයතනයේ සේවක මණ්ඩලය එකතුව අවශ්‍යතා එකු රැස් කළ යුතුයි. එනම් පුස්තකාලයට නව පරිගණක පද්ධතිය මගින් ඉටු කරගත යුතු කාර්යයන් මොනවාද යන්න විමසා බැලියි යුතුයි. මෙහදී පද්ධති විශ්ලේෂක විසින් නව අවශ්‍යතා හඳුනා ගනු ලබයි.

අපි දැන් මෙය ප්‍රායෝගිකව ඉටු කරන අයුරු විමසා බලමු. 

නිරීක්ෂණය


පුස්තකාල පද්ධතියේ නව අවශ්‍යතා සොයා බැලීම අපිට පන්ති කාමරය හෝ නිවසේ සිටිමින් කරන්නට බැහැ. අපි ඒ සඳහා පළමුව පුස්තකාලයට යා යුතුයි. පුස්තකාලයේ වර්තමාන තත්වය හා එහිදී සිදු වන කාර්යයන් පහසුවෙන්ම අවබෝධ කර ගන්නට පුළුවන් එහිදී සිදු කරන නිරීක්ෂණයක් මගින්. පොත් පත් නිකුත් කරන අයුරු, පොත් පත් භාර ගන්නා අයුරු හා ඒවා වාර්තා කර ගන්නා අයුරු එහිදී මනාව නිරීක්ෂණය කර ගන්නට පුළුවන්.

සම්මුඛ සාකච්ජා


එම නිරීක්ෂණයෙන් පසුව අපිට පුළුවන් පුස්තකාලාධිපති හමු වී ඔහු සමග කරනු ලබන සම්මුඛ සාකච්ජාවක් මගින් නිරීක්ෂණයෙන් හඳුනාගත් කරුණු තව දුරටත් පැහැදිලි කර ගැනීමට. පුස්තකාලාධිපති මගින් පුස්තකාල පද්ධතිය මගින් ඉටු කර ගත යුතු කරුණු බොහෝමයක් අනාවරණය කර ගැනීමට හැකි  වනු ඇත.

 ප්‍රශ්නාවලි 


පුස්තකාල පද්ධතිය භාවිතා කරන සාමාජිකයන් ඒ සමග සම්බන්ධ වන ප්‍රධාන පාර්ශවය නිසා ඔවුන්ගෙන්ද නව අවශ්‍යතා පිළිබඳව අදහස් ලබා දිය හැකි වනු ඇත. කෙසේ වුවත් මෙහිදී එක් එක් සාමාජිකයා සමග සම්මුඛ සාකච්ජා පැවැත්විය නොහැක. මෙහිදී අනුගමනය කළ යුතු උපක්‍රමය වන්නේ ප්‍රශ්නාවලි භාවිතා කිරීමයි. එහිදී පොදු ප්‍රශ්නාවලියක් නිර්මාණය කර ගෙන පුස්තකාල සාමාජිකයන් වෙත අහඹු ලෙස බෙදා දී ඒවාට පිළිතුරු ලබා ගත හැකියි. ඒවා විශ්ලේෂණය කර නව අවශ්‍යතා හඳුනා ගත හැකියි.

   වාර්තා හෝ ලිපිගොනු නිරීක්ෂණය


එසේම පුස්තකාලය සතුව මේ වන විට ක්‍රියාත්මක අත්යුරු පද්ධතිය තුළ විවිධ පොත් පත්වල දත්ත විශාල වශයෙන් වාර්තා වී තිබෙනු ඇත. එම වාර්තා හා ලිපිගොනු නිරීක්ෂණය කිරීමෙන් විශාල තොරතුරු ප්‍රමාණයක් ලබා ගත හැක. එනම් පුස්තකාලයේ ඇති වාර්තා, පුස්තකාල කාඩ්පත ආදිය නිරීක්ෂණය කිරීමයි.

  මූලාදර්ශ


මේ සියළු උපක්‍රම මගින් අවශ්‍යතා හඳුනාගන්නා අතර සමහර අවස්ථාවක පුස්තකාල කාර්ය මණ්ඩලය වෙත නව පද්ධතිය පිළිබඳ පැහිදිලි අදහසක් නොතිබිය හැකිය. එවැනි අවස්ථාවක නව පුස්තකාල පද්ධතිය පිළිබඳ අනුරුවක් නිර්මාණය කර ඒ අය වෙත පෙන්විය හැකි නම් ඔවුනට පහසුවෙන් එය අවබෝධ කරගත හැකි වනු ඇත. මෙහිදී නව පද්ධතියේ තිබිය හැකි දර්ශන, වාර්තා, සාම්පල ආදිය යොදා ගත හැක.

අදට පාඩම අවසානයි. දැන් අපි පහත ප්‍රශ්ණවලට පිළිතුරු සපයමු.
මේවාට පිළිතුරු සැපයීම මේ පිටුවේ සිටම කළ හැකි අතර වෙනම පිටුවකට ලබා ගැනීමට පහත පිටුව වෙත යන්න.
https://tinyurl.com/paddathi3









No comments:

Post a Comment