Sunday, May 10, 2020

තොරතුරු පද්ධති සංවර්ධන ක්‍රියාවලිය - 05 වන කොටස

තොරතුරු පද්ධති සංවර්ධන ක්‍රියාවලිය - 05 වන කොටස

අද අපි හමුවන්නේ තොරතුරු පද්ධති සංවර්ධන ක්‍රියාවලිය පාඩමේ පස් වන කොටස සමගයි. ඔබට මතක ඇති අපි මීට පෙර කතා කළ මාතෘකා මොනාවාද කියන එක. අපි කතා කලා තොරතුරු පද්ධති සංවර්ධන ක්‍රියාවලියේ පියවර පිළිබඳව. ඒ අනුව එහි පළමු පියවර වන අවශ්‍යතා හඳුනා ගැනීමේ අදියර අපි මීට පෙර කතා කලා.

 ඒ අනුව අපි අද පාඩමෙන් අද  එහි දෙවන අදියර කතා කරමු.

 එහි දෙවන අදියර තමයි,

(02) විසදුම් සැලසුම් කිරීම.(Designing the Solution)


අවශ්‍යතා හඳුනා ගැනීමේ පළමු පියවරේ දී අපි සිදුකළේ තොරතුරු පද්ධතිය මගින් ඉටු කළ යුතු මූලික කාර්යයන් හඳුනාගැනීමයි.
ඒ අනුව එසේ පද්ධතිය මගින් ඉටුකරගත යුතු කාර්යයන් හඳුනාගැනීමෙන් පසු දෙවන පියවර වෙත ගමන් කළ හැකියි. විසඳුම් සැලසුම් කිරීමේ අදියරේ මූලික අරමුණ වන්නේ පද්ධතියේ විවිධ දේ සැලසුම් කිරීමයි.

 මෙහි ප්‍රධාන අදියර හතක් හඳුනා ගත හැකියි.

  • ·         මෘදුකාංග හඳුනා ගැනීම හා මෘදුකාංග නිර්මිතය හඳුනා ගැනීම.
  • ·         අතුරුමුහුණත් නිර්මාණය හා දත්ත ගබඩා සැකසුම් නිර්මාණය.
  • ·         ප්‍රධාන දෘඩාංග පද්ධතිය සහ ඒවායේ සංඝටක හඳුනා ගැනීම.
  • ·         එක් එක් උප පද්ධති වල පරායත්ත බව හඳුනාගැනීම.
  • ·         පද්ධතිය ක්රියාත්මක කිරීම් සඳහා උචිත දෘඪාංග සහ මෘදුකාංග තීරණය කිරීම.
  • ·         මෘදුකාංග, දත්ත ගබඩා අතුරුමුහුණත් ටිතල ව්‍යුහය නිර්මාණය.
  • ·         පරීක්ෂණ සැලසුම් කිරීම.

 

 අපි දැන් මේ පියවර 7 කෙටි කෙටියෙන් විමසා බලමු.

මෘදුකාංග හඳුනාගැනීම හා මෘදුකාංග නිර්මිතය හඳුනාගැනීම

 ඔබ දන්නවා 11 ‍ශ්‍රේණියේ පළමු පාඩමේදි අපි කතා කළා මෘදුකාංග නිර්මාණය පිළිබඳව. Pascal භාවිතා කරමින් අපි ඉතා කුඩා වැඩසටහන් නිර්මාණය කළා. ඉතින් මෘදුකාංගයක් නිර්මාණය වන්නේ එවැනි  වැඩසටහන් විශාල ප්‍රමාණයක එකතුවකින්.

මෘදුකාංග නිර්මිතය යනු මෘදුකාංගයක් නිර්මාණයට පෙර එහි අඩංගු විය යුතු එක් එක් වැඩසටහන් හඳුනාගැනීමයි. එසේම එම වැඩසටහන් අතර තිබිය යුතු අන්තර් සබඳතාව නිර්මාණය කරගැනීමයි.

උදාහරණයක් වශයෙන් පුස්තකාලයක් සඳහා පද්ධතියක් නිර්මාණයේදී එම පද්ධතියේ එක් එක් කාර්යයන් සඳහා එක් එක් වැඩසටහන නිර්මාණය කළ යුතුය. ඉන්පසු ඒවා අතර සම්බන්ධතාවය නිර්මාණය කළ යුතුයි. පුස්තකාල පොත් පිළිබඳ තොරතුරු වාර්තා කිරීමට එක් වැඩසටහනක් තිබිය යුතුයි. එසේම සාමාජිකයන් පිළිබඳ තොරතුරු වාර්තා කිරීමට තවත් වැඩසටහනක් තිබිය යුතුයි. එසේම සාමාජිකයන් පොත් රැගෙන යාමේදී ඒවා වාර්තා කිරීමටද තවත් වැඩසටහනක් තිබිය යුතුයි. ඔබට තේරුම් ගත හැකියි මෘදුකාංගයක මේ සියලු වැඩසටහන් අතර සම්බන්ධතාවයක් තිබිය යුතු බව. උදාහරණයක් වශයෙන් සාමාජිකයකු පොත් ලබා ගැනීමෙදී ඒවා සාමාජිකයා සම්බන්ධ වැඩසටහනේ වාර්තා විය යුතුයි. එසේම පුස්තකාල පොත් සම්බන්ධ වැඩසටහනේ ද එය වාර්තා විය යුතුය.

අතුරුමුහුණත් එනම්  පරිශීලකයාට තිරයේ දර්ශනය වන ආකාරය තීරණය හා දත්ත ගබඩා සැකසුම.

 මෘදුකාංග නිර්මිතයක් හඳුනාගැනීමෙන් පසු එම එක් එක්වැඩසටහන් සඳහා ප්‍රවේශ වීමට අතුරු මුහුණතක් එනම් පරිගණකය තිරයේ නිර්මාණය කළ යුතුයි. ඔබ දන්නවා ඕනෑම මෘදුකාංගයක දී එහි අතුරු මුහුණත ඉතා වැදගත් කොටසක්. එයට හේතුව ඒ මගින් පරිශීලකයා මෘදුකාංගයට ප්‍රවේශවීම. මෙහිදී අතුරුමුහුණත පරිශීලකයාට පහසුවෙන් භාවිතා කළ හැකි පරිදි සරල විය යුතුයි. එසේම මෘදුකාංගයේ සෑම කාර්යයක්ම සඳහාම ප්‍රවේශ විය හැකි විය යුතුයි. මේ සඳහා අතුරු මුහුණත සුදුසු icons, menu ආදිය යොදා නිර්මාණය කළ යුතුයි.

(අපි Pascal පාඩමේදි මෙවැනි අතුරුමුහුණතක් නිර්මාණයය කළේ නැහැ. නමුත් බොහෝ පරිගණ භාෂාවල දී මෙවැනි අතුරු මුහුණතක් ද නිර්මාණය කළ යුතුයි)

ප්‍රධාන දෘඩාංග  පද්ධති සහ ඒවායේ සංඝටක හඳුනාගැනීම.

  මෙහිදී පද්ධතිය එක් එක් කාර්යයක් ඉටු කරගැනීමට අවශ්‍ය දෘඩාංග මොනවාද යන්න තීරණය කළ යුතුයි.  අපි මේ පාඩම් කතා කිරීමේදී පුස්තකාලය පද්ධතියක් පිළිබඳව උදාහරණයට ගත්තා. ඒ අනුව පුස්තකාල පද්ධතියක් සඳහා අවශ්‍ය දෘඩාංග අදාල පද්ධතිය අනුව අපි තීරණය කළ යුතුයි. පුස්තකාල පොත්වල barcode  පරිලෝකනය සඳහා barcode reader අවශ්‍ය විය හැක. එසේම පරිගණක යම් ප්‍රමාණයක්, මුද්‍රණ යන්ත්‍ර, ස්කෑන් යන්ත්‍ර ආදිය අවශ්‍ය විය හැක මෙවැනි දෘඩාංග මෙහිදී හඳුනාගත යුතුයි.

එක් එක් එක් එක් උප පද්ධති වල පරායත්ත බව හඳුනා ගැනීම

 මෘදුකාංගයක් යනු වැඩසටහන් රැසක එක්තුවක්. නොඑසේ නම් උප පද්ධති වල එකතුවක්. මීට පෙර අපි කතා කලා මේ උප පද්ධති අතර සබඳතාවයක් ඇති බව. කෙසේ වුවත් එක් එක් උපපද්ධතිය අතර සබඳතාවය වගේම  සබඳතාවය සීමාවන ස්ථානයන්ද හඳුනාගත යුතුයි.

පද්ධතිය ක්‍රියාත්මක කිරීමට අවශ්‍ය දෘඩාංග හා මෘදුකාංග තීරණය කිරීම.

මීට පෙර අදියරකදී අවශ්‍ය මෘදුකාංග හා හඳුනාගත්තා. මේ අදියරේදී එම දෘඩාංග හා මෘදුකාංග අවසාන වශයෙන් තීරණය කළ හැකියි.

මෘදුකාංග දත්ත ගබඩා අතුරුමුහුණත් පිළිබඳ යටිතල ව්‍යුහය නිර්මාණය

පද්ධතියේ  තිබෙන එක් එක් එක් වැඩසටහන සඳහා අවශ්‍ය දත්ත ගබඩා වගු  එක් එක් වැඩසටහන සඳහා අවශ්‍ය අතුරු මුහුණත් නිර්මාණය පිළිබදවයි.

පරීක්ෂණ සැලසුම් කිරීම.

 පද්ධති සංවර්ධන ජීවන චක්‍රයේ සිව්වන පියවර පරීක්ෂණ ක්‍රියාත්මක කිරීමයි. එහිදී අවශ්‍ය වන පරීක්ෂණ සැලසුම් කිරීම මෙහිදී සිදුවේ.

 

විසඳුම් සැලසුම් කිරීමේ අදියර ඉහත පරිදි අපිට සාකච්ඡා කර අවසාන කරන්න පුළුවන්.

 

 කෙසේ වෙතත් මේ පියවරේදී සිදුකරන සියලු කටයුතු ඉතා නිවැරදිව හඳුනා ගැනීමට නියමිත පරිදි මෘදුකාංගයක් නිර්මාණය කළ යුතුයි. Pascal වලදී අපි ඒ සඳහා ප්‍රවේශයක් ලබා ගත්තා.  එම දැනුම අනුව ඉහත කරුණු තේරුම් ගැනීම් උත්සාහ කරන්න.

 

 පද්ධතිය සැලසුම් කිරීමේ අදියර අවසානයේදී අපිට මීළඟ පියවර එනම් තෙවන පියවර වෙත යා හැකියි. තෙවන පියවර නම්,

 


(03) විසඳුම් කේතකරණය (Coding)


 මෙය ඉතා සරලව කතා කළ හැකි පියවරක්.

මෙහිදී සිදුවන්නේ මීට පෙර අදියරේදී එනම් සැලසුම් කිරීමේ අදියරේදී නිර්මාණය කළ සැලසුම් කේත බවට පත් කිරීමයි. මේ සඳහා සුදුසු පරිගණක භාෂාවක් තෝරාගත යුතුයි. එම භාෂාව අනුව අදාල කේත නිර්මාණය කළ යුතුයි. මෙහිදී එම කේත තරල හා කාර්යක්ෂම වීම මගින් පහසුවෙන් ඒවා තේරුම් ගත හැකි වේ. ඔබට මතක ඇති  ක්‍රමලේඛ නිර්මාණය කිරීමේ පාඩමේදි විවිධ ගැටලු විශ්ලේෂණය කර පසුව Pascal භාවිතා කර ඒවා වැඩසටහන් බවට පත්කළ ආකාරය.

අපි මීළඟට අවධානය යොමු කරන්න පද්ධති සංවර්ධන ජීවන චක්‍රයේ සිව්වන පියවර  වෙත.

 ඒ තමයි,


(04) විසඳුම් පරික්ෂා කිරීම් හා දෝෂ ඉවත් කිරීම.(Testing & Debugging)


මේ අදියරේදී සිදු වන්නේ තෙවන අදියරයේදී නිර්මාණය කළ කේත, එනම් ලබාගත් විසඳුම් පරික්ෂා කිරීම් හා හා ඒවායේ දෝෂ පවතී නම් ඒවා ඉවත් කිරීමයි.

 මෙහිදී ප්‍රධාන දෝෂ වර්ග තුනක් හඳුනාගත හැකියි.

 ඒවා නම් අවශ්‍යතා දෝෂ, සැලසුම් දෝෂ,  කේතන දෝෂ

අවශ්‍යතා දෝෂයන් අවශ්‍යතා හඳුනා ගැනීමේදී මතුවිය හැකි දෝෂයි. සැලසුම් දෝෂයන් සැලසුම් කිරීමේ අදියරේ දීද මතුවිය හැකි දෝෂයි. කේතන දෝෂයක් යනු කේත ලිවීමේදී මතුවිය හැකි දෝෂයි.

මෙම දෝෂ නිරාකරණය කර ගැනීමේදී පරීක්ෂා ක්‍රම කිහිපයක් භාවිතා කරනවා.

·         ඒකක පරීක්ෂාව unit  testing


ඔබ දන්නවා පද්ධතියක් යනු සංඝටක රැසක එක එකතුවක් බව ඒකක පරීක්ෂාවේ දී සිදුවන්නේ එම එක් එක් ඒකකය වෙන වෙනම පරික්ෂා කිරීමයි.

උදාහරණයක් වශයෙන් පුස්තකාල පද්ධතියේ සාමාජික විස්තර ඇතුලත් කරන වැඩ වැඩසටහන සඳහා පමණ ක් ආදාන ලබාදී එහි ක්‍රියාකාරීත්වය පරික්ෂා කිරීම් දැක්විය හැකියි.

·         සමස්ත පරික්ෂාව integrated testing


ඒකක පරීක්ෂාවේදී පරික්ෂා කරන සියලු ඒකක ඒකාබද්ධ කර පරික්ෂාවට ලක් කිරීමයි. එනම් එක් එක් ඒකකය සම්බන්ධ කළ විට ඒවා ක්‍රියාත්මක වනවාද යන්න පරීක්ෂා කිරීමයි.

·         පද්ධති පරික්ෂාව system testing


මෙහිදී සම්පූර්ණ පද්ධතියට ආදාන ලබාදී පරික්ෂා කරනු ලබයි.

·         ප්‍රතිග්‍රහණ පරික්ෂාව acceptance testing


මෙහිදී පද්ධතිය පද්ධතියේ පරිශීලකයා අවසාන වශයෙන් පද්ධතිය භාර ගැනීමට පෙර කරනු ලබන පරීක්ෂණයයි.


මෙසේ සිදුකරන පරීක්ෂණ වලදී යම් දෝෂයක් මතු වුවහොත් ඒවා නිවැරදි කර නැවත පරික්ෂා කිරීමට සිදුවේ.   අවසාන වශයෙන් පද්ධතියේ දෝෂ නොමැති ලෙස නිගමනය කරන අවස්ථාවේදී මීලඟ පියවර යටතේ වෙත යා හැක.

 පද්ධති සංවර්ධන ජීවන චක්‍රයේ  පස්වන පියවර වන්නේ,

 

 (05) පද්ධතිය පිහිටුවීම (Deployment of the system)


මෙහිදී සාකච්ඡා කළ යුත්තේ පද්ධතියක් පිහිටුවිය හැකි විවිධ ක්‍රම පිළිබඳවයි.

 නව පද්ධතියක් නිර්මාණය කරන ඕනෑම අවස්ථාවක් තිබිය හැකි පොදු ගැටලුවක් තමයි එම පද්ධතිය නිසා මීට පෙර පැවැති පද්ධතිය ඉවත් කිරීමට සිදුවීම. මෙහිදී සමහර අවස්ථාවල  එම පද්ධතියේ සිටින පුද්ගලයන් එනම් අයිතිකරුවන්, සේවකයන් ආදීන් සමහර අවස්ථාවලදී නව පද්ධතියක් පිළිගැනීම්ට අකමැති වෙන අවස්ථා තිබිය හැකියි. එයට හේතුව නව පද්ධතිය ක්‍රියාත්මක කිරීමේදී පරණ පද්ධතිය ඉවත් කිරීමට සිදුවීමත් නව පද්ධතිය පිළිබඳ අත්දැකීමක් ඔවුන්ට නොමැති වීමත් විය හැකියි. සාමාන්‍යයෙන් ඕනෑම අළුත් දෙයක් මුලදී පිළිගැනීමට බොහෝ අවස්ථාවල බොහෝ දෙනෙකු අකමැති වීම සාමාන්‍ය තත්ත්වයකි.

 මෙවැනි ගැටලු පවතින නිසා පද්ධතියක් ආයතනයක පිහිටුවීමේදී එහි ඇති පැරණි පද්ධතිය මුළුමනින්ම ඉවත්කර පිහිටුවන අවස්ථා කලාතුරකින් තිබිය හැකියි වුවත් බොහෝ අවස්ථාවල එසේ පැරණි පද්ධතිය මුළුමනින් ඉවත් නොකර නව පද්ධතිය හඳුන්වා දෙන අවස්ථා ඇත.

 අපි දැන් එවැනි විවිධ හඳුන්වාදීමේ ක්‍රම විමසා බලමු.

·         සෘජු පිහිටුවීම  Direct  deployment


 මෙහිදී පැරණි පද්ධතිය සම්පූර්ණයෙන්ම ඉවත් කර නව පද්ධතිය හඳුන්වා දෙයි.  උදාහරණයක් වශයෙන් පුස්තකාලයේ මේ වනවිට පවතින අත්යුරු පද්ධතිය මුළුමනින්ම නවත්වා නව පරිගණක පරිගණක පාදක පද්ධතිය හඳුන්වා දීම ගත හැකිය.

·         සමාන්තර පිහිටුවීම  Parallel deployment

මෙහිදී පවතින පද්ධතිය හා නව පද්ධති යන දෙක ම සමාන්තරව යම් කාලයක් ක්‍රියාත්මක කරයි. නව පද්ධතිය සාර්ථක නම් පමණක් පැරණි පද්ධතිය නවත්වා දමයි. මේ ක්‍රමය සාර්ථක ක්‍රමයක් ලෙස දැක්විය හැකියි. එයට හේතුව යම් හෙයකින් නව පද්ධතිය අසාර්ථක වීමෙන් සිදුවන අවදානම අවම වීමයි. නමුත් මෙහිදී පද්ධති දෙකක් එකවර ක්‍රියාත්මක කරවීම වියදම් අධික විය හැක.

 උදාහරණයක් වශයෙන් පුස්තකාලය සඳහා නිර්මාණය කළ නව පරිගණක පාදක පද්ධතිය ක්‍රියාත්මක වන අතරතුර එහි ඇතුලත් කරන සෑම දත්තයක්ම ලිඛිතව අත්යුරු පද්ධතියේද සටහන් කිරීම දැක්විය හැකියි.

 ඔබට තේරුම් ගත හැකි විය යුතුයි මේ ක්‍රම දෙකම යම් කාලයක් හෝ ක්‍රියාත්මක කිරීම් වඩා සුදුසු බව. එයට හේතුව යම් හෙයකින් පරිගණක පාදක පද්ධතිය අසාර්ථක වූවහොත් ඒ වෙනුවට ලිඛිත සටහන් තබන අත්යුරු පද්ධතිය යොදා ගත හැකි වීමයි. 

·         නියමු පිහිටුවීම Pilot deployment


මෙහිදී සිදුවන්නේ පද්ධතියක් කුඩා පරිමාණ ක්ෂේත්‍රයක මුලින් ස්ථාපනය කර පසුව සමස්ත සංවිධානයම    වෙනස් කිරීමයි.

උදාහරණයක් වශයෙන් මුළු රටටම අදාළ පද්ධතියක් සමස්ත රටේම වෙනස් නොකර තෝරාගත් දිස්ත්‍රික්ක කිහිපයක මුලින් ස්ථාපනය කර බැලිය හැකියි.    ඒ දිස්ත්‍රික්කවල සාර්ථක නම් පසුව මුළු රටටම එය හඳුන්වා දිය හැකියි. වාහන බලපත්‍ර අන්තර්ජාලය හරහා ලබාදීමේ පද්ධතියක්  එකවර මුළු රටේම වෙනස් නොකර දිස්ත්‍රික්ක දෙකක එම ක්‍රමය හඳුන්වා දී සාර්ථක වන විටදී අනෙකුත් දිස්ත්‍රික්ක වලට හඳුන්වා දීම ගත හැකිය.

·         අදියරමය පිහිටුවීම  Phase deployment


නව පද්ධතිය  එකවර හඳුන්වා නොදී අදියර වශයෙන් හඳුන්වා දෙයි. සාර්ථක සෑම අදියරකට ම පසුව ඊළඟ අදියර හඳුන්වා දී අදියරෙන් අදියර ගමන් කරයි. අවසාන අදියර දක්වා පද්ධතිය සංවර්ධනය කරයි.

 උදාහරණයක් වශයෙන් පාසල් පුස්තකාලයේ තොරතුරු පරිගණක ගත කිරීමේදී එහි ඇති පොත්පත් සඟරා පුවත් පත් ආදී සියල්ල පිළිබඳ තොරතුරු එකවර පරිගණක ගත නොකර අදියරෙන් අදියර එනම් මුල් මාසයේදී පොත් පිළිබඳ විස්තර ද ඊළඟ මාසයේදී සඟරා පිළිබඳ විස්තර ද පරිගණක ගත කිරීම සිදුකළ හැකියි.

පද්ධතියක් සාර්ථකව පිහිටුවීමෙන් පසුව මීළඟට කළ යුත්තේ,


(06) පද්ධතිය නඩත්තුව.(System Maintenance)


බොහෝ විට පද්ධතිය පිහිට වූ මුල් අවස්ථාවේම නඩක්කුව අවශ්‍ය විය නොහැක. කෙසේ වෙතත් යම් කාලයක් පද්ධතියක් ආයතනයක පවත්වාගෙන යාමට නම් එය නිසි පරිදි නඩත්තු කළ යුතුයි. මෙහිදී පරිගණක, පරිගණක මෘදුකාංග හා පරිගණක ජාල නඩත්තු කළ යුතුයි.

අප මේ මාතෘකාවේදී සාකච්ඡා කරන්නේ පද්ධතියක් නඩත්තුවට හේතු විමසා බැලීමයි.

පද්ධති නඩත්තුව සිදු කිරීමට විවිධ හේතු මෙසේ දැක්විය හැකියි.

·            නව පරිශීලක අවශ්‍යතා සම්පූර්ණ කරදීම.

නව පද්ධතිය පිහිටුවිමට පෙර එම පද්ධතිය පිළිබඳ ඉතා ඉහළ වැටහීමක් එම පද්ධතිය අවශ්‍ය ආයතනයේ හිමිකරුවන්ට හෝ එම පද්ධතියේ ක්‍රියාකාරම් ඉටු කරන පුද්ගලයන්ට නොතිබිය හැක. කෙසේ වෙතත් නව පද්ධතිය ස්ථාපනය කර පවත්වාගෙන යාමේදී ඔවුන් එයට පුරුදු පුහුණු වූ පසු එම පද්ධතියෙන් ඉටු කර ගත යුතු තව තවත් අවශ්‍යතා ඉදිරිපත් කළ හැක. උදාහරණයක් වශයෙන් පුස්තකාල පද්ධතියේ පොත් ලියාපදිචිය, ශීෂ්‍ය ලියාපදිංචිය, පොත් නිකුතුව හා ‍පොත් භාර ගැනීම පරිගණකගත විය යුතු බවට මුලින් ඉල්ලා සිටියත් පද්ධතිය තුළ කාලයක් ක්‍රියාත්මක වීමේදී අන්තර්ජාලය හරහා පොත් පත් පිළිබඳ විස්තර පාඨකයන්ට ලබාදීමට නව අවශ්‍යතාවයක් මතු විය හැක. මෙවැනි වටෙක පද්ධති නඩත්තුවක් මගින් එම අවශ්‍යතාවය ඉටු කර දිය යුතුය.

 

·            පද්ධති පරීක්ෂාවේදී හඳුනා නොගත් සුළු ගැටළුවට පිළියම් යෙදීම.

පද්ධති නඩත්තුවේදී සිදු කරන්නේ වැරදි සොයා බලා ඒවා නිවැරදි කිරීමයි. කෙසේ වුවත් පද්ධතියක් ආයතනයක් තුළ කාලයක් තිස්සේ ක්‍රියාත්මක වන විට පද්ධති පරීක්ෂාවේදී හඳුනා නොගත් නව ගැටළු මතුවී තිබිය හැක. ඒවා නිවැරදි කිරීමට නඩත්තුව අවශ්‍ය වේ.

 

·            නව තාක්ෂණයේ දියුණුව පද්ධතියට යොදා ගැනීම.

පද්ධතිය මේ වන විට ක්‍රියාත්මක වන මෙහෙයුම් පද්ධතිය (operating system) අදාළ එම ආයතන විසින් යාවත්කාල කිරීමක් කළහොත් එම නව මෙහෙයුම් පද්ධතිය මත ක්‍රියාත්මක වන පරිදි පද්ධති නඩත්තුවක් කිරීමට සිදු වේ.

එසේම දැනට පද්ධතියේ භාවිතයට ගැනෙන දෘඩාංගවල වෙනසක් සිදු කිරීමට අදහස් කරන්නේ නම් එවැන් අවස්ථාවකද පද්ධති නඩත්තුවක් කිරීමට සිදු වේ.


මී ළග පාඩමේදී තොරතුරු පද්ධති පාඩමේ අවසාන කොටස වන පද්ධති සංවර්ධන ආකෘති කොටසින් හමු වෙමු.

(මෙම සම්පූර්ණ ලිපිය සකස් කරන ලද්දේ Helakuru Voice Typing යොදා ගෙනයි - https://www.helakuru.lk/ )

Good Luck..

 


No comments:

Post a Comment