Wednesday, April 01, 2020

තොරතුරු පද්ධති - 04 කොටස - පද්ධති සංවර්ධන ජීවන චක්‍රය හැදින්වීම හා අවශ්‍යතා හඳුනා ගැනීමේ අදියර


තොරතුරු පද්ධති සංවර්ධන ජීවන චක්‍රය
System Development Life Cycle


අද අපි හමුවන්නේ තොරතුරු පද්ධති පාඩමේ හතරවන කොටසත් සමගයි. අද මාතෘකාවත් ඉතා වැදගත්. අපි පළමුවෙනි පාඩමේදී  කතා කලා යම් ආයතනයක් පරිගණකගත කිරීමේදී එය යම් කිසි පිළිවෙළකට සැලසුම්සහගතව සිදු විය යුතු බව. ඉතිං ඒ විදිහට සැලසුම්සහගතව පද්ධතියක් නිර්මාණය කරන පිළවෙළ පිළිබඳව අපි අද කතා කරමු.
අපේ මාතෘකාව තමයි තොරතුරු පද්ධති සංවර්ධන ජීවන චක්‍රය කියන එක. ඉංග්‍රීසියෙන් කියනවා system sevelopment life cycle (SDLC)  කියලා.

මොකද්ද මේ පද්ධති සංවර්ධන ජීවන චක්‍රය කියලා කියන්නේ?

පද්ධති සංවර්ධන ජීවන චක්‍රය කියලා කියන්නේ තොරතුරු පද්ධතියක් ගොඩනැගීමට භාවිතා කරන පියවර සමුදායකින් යුත් ක්‍රියාවලියක්. 
මේක ජීවන චක්‍රයක් කියලා හඳුන්වන්න හේතුව තමයි මෙහි නිශ්චිත අවසානයක් නොමැතිවීම. හරියට ජල චක්‍රය වගේ.
ඉතිං පද්ධති සංවර්ධන ජීවන චක්‍රයේ පියවර 6 ක් අපට හඳුනා ගන්න පුළුවන්. ආයතනයකට අවශ්‍ය  පද්ධතියක් නිරමාණය කර ගත යුත්තේ එම පියවර අනුවයි.

අපි බලමු ඒ පියවර මොනවද කියලා.


1.අවශ්‍යතා හඳුනා ගැනීම. (Identification of requirments)
2.විසඳුම සැලසුම් කිරීම. (Designing the solution)
3.විසඳුම කේතකරණය.(Coding the solution)
4.විසඳුම පරීක්ෂා කිරීම හා දෝෂ ඉවත් කිරීම.
(Testing & Debuging)
5.පද්ධතිය පිහිටුවීම. (Deployment of the system)
6.පද්ධතිය නඩත්තු කිරීම.(Maintenance of the system)

මේ පියවර හය අනුගමනය කරන විට ඕනෑම ගැටළුවකට අදාළව ඕනෑම සංවිධානයක් සඳහා තොරතුරු පද්ධතියක් නිර්මාණය කිරීමේ හැකියාව තිබෙනවා. 
මේ පියවර අනුව යම් පද්ධතියක් ස්ථාපිත කර පවත්වාගෙන යාමේදී නව අවශ්‍යතා මතුවිය හැකි අතර එවිට ඒවා සපුරා ගැනීමට පළමුවෙන්ගි පියවරට ගොස් මෙම ක්‍රියාවලිය පුනර්කරණය කළ යුතු වෙනවා. ඒ අනුව මෙය ආයතනයකදී නොනැසී පවතින අඛණ්ඩ ක්‍රියාවලීයක්. ඒ නිසා මේ ක්‍රියාවලිය චක්‍රයක් ලෙස හඳුන්වන්න පුළුවන්.

අපි දැන් බලමු මේ එක් එක් පියවරේදී කළ යුතු කාර්යයන් මොනවාද කියලා.

අවශ්‍යතා හඳුනා ගැනීම.


මෙහිදී අවශ්‍යතා කියලා කියන්නේ පද්ධතිය මගින් ඉටු කර ගත යුතු කාර්යයන් මොනවාද යන්නයි. 
අවශ්‍යතා හඳුනාගැනීමේ පියවරේදී සිදු කරන්නේ පද්ධතිය මගින් ඉටු කර ගත යුතු කාර්යයන් මොනවාද යන්න හඳුනා ගැනීමයි. බොහෝ විට පද්ධතිය හඳුන්වාදීමට බලාපොරොත්තුවන සංවිධානය තුළ මේ වන විට අත්යුරු පද්ධතියක් තිබෙන්නට පුළුවන්. එසේම සමහර විට පරිගණක පාදක පද්ධතියක් තිබෙන්නටත් පුළුවන්.

ඒ ආකාරයට පවතින පද්ධතිය පිළිබඳව පූර්ණ විමසීමක් සිදු කර නව පද්ධතියේ අරමුණු, ප්‍රතිලාභ, කාර්යක්ෂමතාව ආදී දේ පිළිබඳව සොයා බලා ඒවා සටහන් කර ගැනීම මෙහිදී සිදු කළ යුතුයි.

මෙහිදී පද්ධති විශ්ලේෂක විසින් පවතින පද්ධතිය සම්පූර්ණයෙන් අධ්‍යයනය කර නව අවශ්‍යතා හදුනා ගනු ලබයි. මෙහිදී මේ සදහා අවශ්‍ය දත්ත රැස් කර ගැනීමට විවිධ ක්‍රමවේද යොදා ගැනීම සිදු කෙරේ.

      ·       නිරීක්ෂණය (Observation)
      ·       සම්මුඛ සාකච්ජා (Interview)
      ·       ප්‍රශ්නාවලි (Questionnaires)
      ·       වාර්තා හෝ ලිපිගොනු නිරීක්ෂණය     
         (Document sample collection)
      ·       මූලාදර්ශ (Prototyping)

උදාහරණයක් ලෙස දැනට අත්යුරු ක්‍රමයක් ලෙස ක්‍රියාත්මක වන පාසල් පුස්තකාල පද්ධතියක් පරිගණක පාදක පද්ධතියක් බවට පත් කිරීමට සිදු වූයේ යැයි සිතමු. මෙහිදී පද්ධති විශ්ලේෂක  ඇතුළු පද්ධතිය ගොඩ නගන කණ්ඩායම හා ආයතනයේ සේවක මණ්ඩලය එකතුව අවශ්‍යතා එකු රැස් කළ යුතුයි. එනම් පුස්තකාලයට නව පරිගණක පද්ධතිය මගින් ඉටු කරගත යුතු කාර්යයන් මොනවාද යන්න විමසා බැලියි යුතුයි. මෙහදී පද්ධති විශ්ලේෂක විසින් නව අවශ්‍යතා හඳුනා ගනු ලබයි.

අපි දැන් මෙය ප්‍රායෝගිකව ඉටු කරන අයුරු විමසා බලමු. 

නිරීක්ෂණය


පුස්තකාල පද්ධතියේ නව අවශ්‍යතා සොයා බැලීම අපිට පන්ති කාමරය හෝ නිවසේ සිටිමින් කරන්නට බැහැ. අපි ඒ සඳහා පළමුව පුස්තකාලයට යා යුතුයි. පුස්තකාලයේ වර්තමාන තත්වය හා එහිදී සිදු වන කාර්යයන් පහසුවෙන්ම අවබෝධ කර ගන්නට පුළුවන් එහිදී සිදු කරන නිරීක්ෂණයක් මගින්. පොත් පත් නිකුත් කරන අයුරු, පොත් පත් භාර ගන්නා අයුරු හා ඒවා වාර්තා කර ගන්නා අයුරු එහිදී මනාව නිරීක්ෂණය කර ගන්නට පුළුවන්.

සම්මුඛ සාකච්ජා


එම නිරීක්ෂණයෙන් පසුව අපිට පුළුවන් පුස්තකාලාධිපති හමු වී ඔහු සමග කරනු ලබන සම්මුඛ සාකච්ජාවක් මගින් නිරීක්ෂණයෙන් හඳුනාගත් කරුණු තව දුරටත් පැහැදිලි කර ගැනීමට. පුස්තකාලාධිපති මගින් පුස්තකාල පද්ධතිය මගින් ඉටු කර ගත යුතු කරුණු බොහෝමයක් අනාවරණය කර ගැනීමට හැකි  වනු ඇත.

 ප්‍රශ්නාවලි 


පුස්තකාල පද්ධතිය භාවිතා කරන සාමාජිකයන් ඒ සමග සම්බන්ධ වන ප්‍රධාන පාර්ශවය නිසා ඔවුන්ගෙන්ද නව අවශ්‍යතා පිළිබඳව අදහස් ලබා දිය හැකි වනු ඇත. කෙසේ වුවත් මෙහිදී එක් එක් සාමාජිකයා සමග සම්මුඛ සාකච්ජා පැවැත්විය නොහැක. මෙහිදී අනුගමනය කළ යුතු උපක්‍රමය වන්නේ ප්‍රශ්නාවලි භාවිතා කිරීමයි. එහිදී පොදු ප්‍රශ්නාවලියක් නිර්මාණය කර ගෙන පුස්තකාල සාමාජිකයන් වෙත අහඹු ලෙස බෙදා දී ඒවාට පිළිතුරු ලබා ගත හැකියි. ඒවා විශ්ලේෂණය කර නව අවශ්‍යතා හඳුනා ගත හැකියි.

   වාර්තා හෝ ලිපිගොනු නිරීක්ෂණය


එසේම පුස්තකාලය සතුව මේ වන විට ක්‍රියාත්මක අත්යුරු පද්ධතිය තුළ විවිධ පොත් පත්වල දත්ත විශාල වශයෙන් වාර්තා වී තිබෙනු ඇත. එම වාර්තා හා ලිපිගොනු නිරීක්ෂණය කිරීමෙන් විශාල තොරතුරු ප්‍රමාණයක් ලබා ගත හැක. එනම් පුස්තකාලයේ ඇති වාර්තා, පුස්තකාල කාඩ්පත ආදිය නිරීක්ෂණය කිරීමයි.

  මූලාදර්ශ


මේ සියළු උපක්‍රම මගින් අවශ්‍යතා හඳුනාගන්නා අතර සමහර අවස්ථාවක පුස්තකාල කාර්ය මණ්ඩලය වෙත නව පද්ධතිය පිළිබඳ පැහිදිලි අදහසක් නොතිබිය හැකිය. එවැනි අවස්ථාවක නව පුස්තකාල පද්ධතිය පිළිබඳ අනුරුවක් නිර්මාණය කර ඒ අය වෙත පෙන්විය හැකි නම් ඔවුනට පහසුවෙන් එය අවබෝධ කරගත හැකි වනු ඇත. මෙහිදී නව පද්ධතියේ තිබිය හැකි දර්ශන, වාර්තා, සාම්පල ආදිය යොදා ගත හැක.

අදට පාඩම අවසානයි. දැන් අපි පහත ප්‍රශ්ණවලට පිළිතුරු සපයමු.
මේවාට පිළිතුරු සැපයීම මේ පිටුවේ සිටම කළ හැකි අතර වෙනම පිටුවකට ලබා ගැනීමට පහත පිටුව වෙත යන්න.
https://tinyurl.com/paddathi3









Sunday, March 29, 2020

11 ශ්‍රේණිය - තොරතුරු පද්ධති 03 කොටස - තොරතුරු පද්ධතියක් යනු කුමක්ද?


තොරතුරු පද්ධතියක් යනු කුමක්ද?



අද දින අප හමුවන්නේ පද්ධති පාඩමේ තුන්වන කොටස සමගයි. මෙම පාඩම් කියවන ඔබ අනිවාර්නයෙන්ම මෙහි දක්වා ඇති අභ්‍යාසයන්ද කිරීමට අමතක කරන්න එපා. ඔබට ඒවා අන්තර්ක්‍රියාකාරී ලෙස කරන්න පුළුවන්. ඒ කියන්නේ අන්තර්ජාලය හරහා ඒ මොහොතේම සිදුකිරීම හා පිළිතුරු ලබා ගැනීම කරන්න පුළුවන්.
මම මේ පාඩම විස්තර කිරීමේදී මෙහි නිල් පැහැයෙන් දක්වා ඇති කරුණු ඔබ ඉතා හොදින් අවධාරණය කර ගත යුතු කරුණු වෙනවා.
අද තමයි අපේ පාඩමේ වැදගත්ම කොටස. අද අපි කතා කරනවා තොරතුරු පද්ධතියක් කියන්නේ මොකද්ද කියලා..

මුලින්ම බලමු දත්ත හා තොරතුරු පිළිබඳව.

දත්ත හා තොරතුරු කියන්නේ මොනවාද කියලා අපි මීට කලින් 10 ශ්‍රේණියේදී කතා කරලා තියෙනවා. වෙන් වෙන් වශයෙන් ගත් කළ අර්ථයක් දීමට අපහසු අංක, වචන සහ සළකුණු දත්ත ලෙස හදුන්වන්න පුළුවන්. එවැනි දත්ත ගොනු කිරීමෙන් හා සකස් කිරීමෙන් පසු ලබා ගන්නා අර්ථවත් ප්‍රතිඵලය තොරතුරු ලෙස හදුන්වනවා.

තොරතුරුවල ඇති වැදගත්කම කුමක්ද?
තොරතුරුවල ඇති වැදගත්කම වන්නේ ඒවා භාවිතා කර තීරණ ගැනීමට හැකිවීමයි. අප ලෝකයේ වර්තමාන තත්වය ගතහොත් අපි හැමෝම මේ මොහොතේ තොරතුරු පිළිබඳව ඉතා අවදානයෙන් පසුවනවා. ඒ තමයි මේ මොහොතේ පැතිරී යන කොරෝනා වෛරසය පිළිබඳව. අපේ රටේ දැනට පවතින තත්වය ප්‍රවෘත්ති මගින් ප්‍රකාශ කරනවා. එසේ රටේ සමස්ත තත්වය පිළිබඳව ප්‍රකාශ කිරීමට පෙර රටේ විවිධ පෙදෙස් වල දත්ත රැස් කිරීම සිදු කරනවා. ඉන් අනතුරුව එම දත්ත ක්‍රමානුකූලව සකස් කිරීමෙන් තොරතුරු නිර්මාණය කර ගන්නවා.



ඉතිං, ඔබ දන්නවා එසේ ලබා ගන්නා ‍තොරතුරු කොපමණ වටිනවාද කියන කාරණය. ඒ තොරතුරු භාවිතා කර අපිට තීරණ ගන්න  පුළුවන්. මේ මොහොතේ එම වෛරසය මැඩලීම පිළිබඳව ගන්නා තීරණ ගනු ලබන්නේ එම තොරතුරු මත පදනම්වයි.
මීට පෙර අප කතා කළ පරිදි පද්ධතියක් යනු යම් පොදු අරමුණක් සාක්ෂාත් කර ගැනීමට නිරන්තර අන්තර්ක්‍රියාකාරීත්වයෙන් යුතු සංඝටක සමූහයක එකතුවක්.

එසේ නම් තොරතුරු පද්ධතියක් යනු කුමක්දැයි විමසා බලමු.
තොරතුරු පද්ධතියක් කියන්නේ අපි කලින් කතා කරපු පද්ධතියක තියෙන ලක්ෂණ සියල්ලම තියෙන පද්ධතියක්. එහි විශේෂත්වය වන්නේ එය නිර්මාණය වී තිබෙන්නේ දත්ත එක් රැස් කර තොරතුරු බවට පත් කිරීමටයි.
ඒ අනුව දත්ත තොරතුරු බවට පත් කරන පද්ධතියක් තොරතුරු පද්ධතියක් ලෙස හඳුන්වනවා.

අපට සමීපම ස්ථානය වන පාසල ගතහොත් අප පාසලේ තොරතුරු පද්ධති ක්‍රියාත්මක වන අවස්ථා මොනවාදැයි අපි විමසා බලමු.
ඔබ දන්නවා අප පාසලේ කාර්යාලය තුළ සේවක  පිරිසක් දිනපතා පැමිණ විවිධ කාර්යාලයීය කටයුතු වල නිරත වනවා. ඔවුන් පන්තිවලට පැමිණ ඉගැන්වීම, ක්‍රීඩා කටයුතුවලට සහභාගිවීම ආදී කටයුතුවලට දායක වන්නේ නෑ. ඔවුන් සිදු කරන්නේ දිනපතා පාසලේ සිදුවන ක්‍රියාකාරකම්වලට අදාළව දත්ත එක් රැස් කිරීම හා ඒවා සකස් කර ලබා ගන්නා තොරතුරු අවශ්‍ය පාර්ශව වෙත සන්නිවේදනය කිරීමයි. එනම් ගුරුවරුන්ගේ පැමිනීම, සිසුන්ගේ පැමිනීම, විභාග ප්‍රතිඵල විශ්ලේශණය, විවිධ ශීෂ්‍ය සහතිකපත් නිකුත් කිරීම ආදිය ඔවුන් සිදු කරනවා. ඒ අනුව ඔවුන් අයත් වන පද්ධතිය පාසලේදී ක්‍රියාත්මක වන තොරතුරු පද්ධතියක්.
මේ ආකාරයට ඕනෑම සංවිධානයකදී අපිට තොරතුරු පද්ධති දැක බලා ගැනීමට පුළුවන්.
එසේ නම් මෙවැනි තොරතුරු පද්ධති පිළිබඳව විමසා බැලීමේදී අපට දැක ගන්නට පුළුවන් ප්‍රධාන තොරතුරු පද්ධති 2ක් තිබෙන බව. ඒවා මෙසේයි,


තොරතුරු පද්ධති වර්ග
·    අත්යුරු තොරතුරු පද්ධති.(Manual Information System)
·     පරිගණක පාදක තොරතුරු පද්ධති. (Computer Based
    Information System)


අත්යුරු තොරතුරු පද්ධති.



අත්යුරු තොරතුරු පද්ධතියේ මූලික ලක්ෂණය තමයි එවැනි පද්ධතියක දත්ත රැස් කිරීම හා ඒවා සකස් කිරීම පුද්ගලයන් විසින් අතින් සිදු කරනු ලැබීමයි.
මීට අමතරව පහත ලක්ෂණද දැක ගැනීමට හැකියි.
·    දත්ත, තොරතුරු සටහන් කිරීමට කඩදාසි, පෑන් පැන්සල් භාවිත කරයි.
·     දත්ත, තොරතුරු වාර්තා ගබඩා කර තැබීමට කබඩ්, අල්මාරි

ආදිය භාවිතා කරයි.



උදාහරණ වශයෙන් ගතහොත් පාසලක සිසුන් ලියාපදිංචි කර ගැනීමේ පද්ධතිය බැලුවහොත් එහිදී ලිඛිත සටහන් තබමින්, අදාළ වාර්තා කබඩ් ආදියේ ගබඩා කරන ක්‍රමයක් භාවිතා කරයි නම් එය අත්යුරු තොරතුරු පද්ධතියක්.
එම ක්‍රමයේදී සිසුවෙක් සම්බන්ධව සියළු තොරතුරු එනම් ශිෂ්‍ය කාර්ය දර්ශකය, විවිධ ක්‍රීඩා දක්ෂතා, ජයග්‍රහණ ආදිය ලිඛිතව ගබඩා කර තබා ගන්නවා. ඔබ වසර කිහිපයක් අවසාන වී චරිත සහතිකයක් හෝ වෙනත් විභාග සහතිකයක් ඉල්ලා සිටිය විටෙක එය ඒ මොහොතේම ක්ෂණිකව ලබා ගන්න හැකියාවක් තිබේද?
ඔබ දන්නා පරිදි එසේ ලබා ගත නොහැකියි. ඒ සදහා දින දෙක තුනක් යන්නටත් පුළුවන්. එයට හේතුව ඔබෙන් ලබා ගන්නා ඇතුළත්වීමේ අංකය අනුව ඔබට අදාළ ගොනුව සොයා ගැනීම සඳහා යම් කාලයක් ගත වීමයි. එසේම ඔබගේ පැරණි වාර්තා විවිධ අංශවලින් ලබා ගැනීමට සිදුවෙයි.
මේ අනුව බැලූ කළ අත්යුරු තොරතුරු පද්ධතියක ආවේණික දුර්වලතා රැසක්ද තිබෙනවා.

අත්යුරු තොරතුරු පද්ධතියක ආවේණික දුර්වලතා.
·     දත්ත ඇතුළත් කිරීමට හා තොරතුරු සකස් කර ගැනීමට වැඩි
කාලයක් ගතවීම.
·     සකස් කර ලබා ගන්නා තොරතුරුවල නිවැරදිතාවය පහළ
අගයක් ගැනීම.
·     පහළ කාර්යක්ෂමතාවය.
·     තොරතුරු ප්‍රතිදානය කර ගැනීම සඳහා වැඩි කාලයක් ගතවීම.
 
අපි පාඩම බොහෝ වේලා සාකච්ජා කළ නිසා දැන් සූදානම් වන්නේ ඔබ කව්රුත් දන්නා චාලි චැප්ලින්ගේ වීඩියෝවක් නරඔන්නයි. විනෝදයටම නෙවෙයි. මේක නරඔන විට අත්යුරු පද්ධතියක සමහර දුර්වලතා තේරුම් ගන්නත් පුළුවන්. (මේක නිර්මාණය කරලා තියෙන්නේ අත්යුරු පද්ධති සම්බන්ධයෙන්ම නෙවෙයි. හැබැයි කර්මන්තශාලාවකදි සමහර කාර්යයන් මිනිස් අතින් කරන්න ගියහම වෙන අකරතැබ්බයන්  මෙකේ තියෙනවා)


අපි දැන් තවත් අත්යුරු තොරතුරු පද්ධති කිහිපයක් විමසා බලමු.
     ·       පාසලේ ශීෂ්‍ය නාමලේඛණය ලකුණු කිරීමේ පද්ධතිය.
     ·       අත්යුරු පුස්තකාල පද්ධතිය.
     ·       පාසල් වත්කම් සටහන් තබන ඉන්වෙන්ට්‍රි පද්ධතිය.
     ·       පොත් තැබීම. (ව්‍යාපාර ආයතනවල ගනුදෙනු වාර්තා තබා ගැනීම)

අත්යුරු පද්ධතිවල ලක්ෂණ හදුනා ගැනීමට අපි තවත් උදාහරණයක් විස්තර සහිතව බලමු.
ඔබේ පාසලේ පුස්තකාලයේ කටයුතු සිදු වන්නේ පුද්ගලයන් අතින් ලිඛිතව නේද? එසේ නම් එය අත්යුරු තොරතුරු පද්ධතියක්. ඔබ පුස්තකාලයට ගොස් යම් පොතක නමක් හා එහි කතෘවරයා පිළිබඳ පැවසූවිට ඔබට එම පොත ඒ මොහොතේ තිබේද හෝ නැතිද යන්න ඒ මොහොතේම දැන ගත හැකිද? පිළිතුර නැත යන්න නේද? එයට හේතුව ඔබේ ප්‍රශ්නයට අදාළ පිළිතුර ලබා ගැනීමට ඒ සම්බන්ධව ලිඛිත වාර්තා පොත් පත් වලින් පරීක්ෂා කළ යුතු වීමයි.

අපි දැන් බලමු පරිගණක පාදක තොරතුරු පද්ධතියක් කියන්නේ මොකද්ද කියලා.

පරිගණක පාදක තොරතුරු පද්ධති. (CBIS)



පරිගණක පාදක තොරතුරු පද්ධතියක ඇති ප්‍රධානම ලක්ෂණය වන්නේ පරිගණක ආශ්‍රයෙන් දත්ත තොරතුරු බවට පත් කිරීමයි. අත්යුරු තොරතුරු පද්ධතිය මෙන් පුද්ගලයන් විසින් දත්ත සකස් කිරීම වෙනුවට මෙහිදී ඒ සඳහා මුළුමනින්ම පරිගණක භාවිතා කරනවා.
මීට අමතරව දත්ත, තොරතුරු ගබඩා කර ගැනීමට පරිගණක යොදා ගන්නවා.





උදාහරණයක් වශයෙන් පරිගණක පාදක පාසල් පුස්තකාල පද්ධතියක් පිළිබඳව සිහිපත් කර බලමු.
ඔබ දැන් සිහියට නගා ගත යුතුයි ඔබේ පාසලේ තිබෙන හෝ තිබිය හැකි පරිගණක පාදක පාසල් පුස්තකාල පද්ධතිය සම්බන්ධව. එම පුස්තකාලයේ පොත් පත් මනාව අසුරා තිබෙනවා. පුස්තකාල කාර්ය මණ්ඩලයේ සිටින්නේ පුස්තකාලයාධිපතිත් සමග තවත් එක් පුද්ගලයෙක් පමණයි. ඔබ පුස්තකාලාධිපති වෙත යන්නේ තීරු කේතයක් මුද්‍රණය කර ඇති කුඩා පුස්තකාල කාඩ්පත රැගෙන. එම කාඩ්පත පුස්තකාලයාධිපති විසින් රැගෙන තීරු කේත කියවනය මගින් පරිගණකයට ඔබේ දත්ත ඇතුළත් කර ගන්නවා. ඒ මගින් ඔබ පුස්තකාලයේ සාමාජිකයකු බව තහවුරු වන අතර ඔබ මීට පෙර ලබාගත් පොත් සම්බන්ධ විස්තරද ඔහු දැන ගන්නවා. පසුව ඔබට ඒ මොහොතේ ලබා ගත යුතු පොත් පත් ලබා ගැනීමට පොත් රාක්ක වෙත යා හැකියි. නමුත් ඊට පෙර ඔබට පුළුවන් එම පොතේ නම හෝ කතෘවරයාගේ නම වැනි දත්තයක් පුස්තකාලාධිපතිට ලබා දී එම පොත පුස්තකාලයේ පොත් අතර තිබේද එසේම මේ මොහොතේ එය කිසිවෙකු විසින් රැගෙන ගොසින්ද යන්න දැන ගත හැකියි. එය තිබේ නම් ඒ පොත පුස්තකාලයේ තිබෙන ස්ථානය දැන ගැනීමටද හැකියි.
එවිට එම පොත රැගෙන පුස්තකාලාධිපති වෙත භාර දිය යුතුයි. පුස්තකාලාධිපති විසින් එම පොතෙහි ඇති තීරු කේතය, තීරු කේත කියවනය මගින් කියවා එම දත්ත ඉතා ඉක්මනින් පරිගණකයට ඇතුළත් කරයි.
එසේ නම් ඔබට දැන් පැහැදිලි ඇති පුස්තකාල තොරතුරු පද්ධතිය පරිගණකගත වීමෙන් ඉතා ඉක්මනින් හා පහසුවෙන් පුස්තකාල දත්ත වාර්තා තබා ගැනීමටත් සාමාජිකයකුට ඉතා ඉක්මනින් පොත් ලබා ගැනීමත් කළ හැකි බව.
මෙවැනි පුස්තකාල තොරතුරු පද්ධතියක් තව දුරටත් දියුණු කිරීමෙන් පුස්තකාලය මාර්ගගත පද්ධතියක් (online system) ලෙස සැකසීමෙන් සාමාජිකයන්ට දුරස්ථව සිට පුස්තකාල සේවා කිරීම කළ හැකිය. එසේම සාමාජිකයන්ට e-books ලබා දීම කළ හැකියි.
ඔබ කල්පනා කර බැලුවොත් වර්තමාන ලෝකයේ තත්වය කොරෝනා නම් වෛරස රෝගය නිසා එය බෝවීමේ අවධානම ඉහළ යාමත් සමග ලංකාව ඇතුළු ලොව බොහෝ රටවල් සිය ජනතාව නිවෙස් වෙත ම රදවා තිබෙනවා. මෙවන් මොහොතක එදිනෙදා කටයුතු කරගෙන යාමේදී ඒ ඒ ආයතනවල පරිගණකගත තොරතුරු පද්ධතියක් තිබීම ඉතා වැදගත් වනවා.
මෙවැනි පරිගණක පාදක තොරතුරු පද්ධති තිබෙන තවත් අවස්ථා කිහිපයක් බලමු.
·    ව්‍යාපාර ආයතනයක භාණ්ඩ අලෙවි කිරීමේ හා තොග පාලනය කිරීමේ පද්ධති.
·       ස්වයංක්‍රීය ටෙලර් යන්ත්‍ර පද්ධති.
·       පරිගණක පාදක ගිණුම්කරණ පද්ධති.
·       ඇගිලි සළකුණු කියවීමේ පද්ධති.
·       පරිගණකගත බැංකු පද්ධති.

මෙසේ විස්තර කළ පරිගණක පද්ධති කිහිපයක් නැරඹීම සඳහා ඔබට පහත You Tube චැනලය වෙත යා හැකියි.
·       ATMපද්ධතිය - 

·       ඇගිලි සළකුණු කියවීමේ පද්ධතිය -


·       තීරු කේත කියවන පද්ධතිය -



අපි දැන් අත්යුරු පද්ධති හා පරිගණක පාදක තොරතුරු පද්ධති අතර ඇති වෙනස්කම් වගුගත කර මේවායේ වෙනස්කම් සන්සන්දනය කරමු.
අත්යුරු පද්ධති
පරිගණක පාදක තොරතුරු පද්ධති
අතින් දත්ත සකස් කරන නිසා දෝෂ වීමේ ඉඩකඩ වැඩිය.
වැඩසටහනකට අනුව නිසා දෝෂ ඇතිවීම අවමය.
තොරතුරු සැකසීමට වැඩි කාලයක් ගත වේ.
අඩු කාලයකින් සැකසිය හැක.
දත්ත ගබඩා කිරීමට වැඩි ඉඩක් වැය වේ.
දත්ත ගබඩා කිරීමට අඩු ඉඩක් වැය වේ.
දත්ත සඳහා අඩු ආරක්ෂාව.
උපස්ථ, මුරපද ආදියෙන් දත්ත සඳහා ආරක්ෂාව.

අදට අපි අපේ පාඩම අවසන් කරමු.

දැන් ඔබ පහත ඇති ප්‍රශ්ණවලට පිළිතුරු යොමු කරන්න.

(Microsoft Forms වෙනම පිටුවක ලබා ගැනීමට - https://tinyurl.com/paddathi2 )


ඔබේ සටහන් පොත රැගෙන ඒවා සටහන් කර ගන්න. එවිට මේ පාඩම සඳහා අවශ්‍ය සටහන නිර්මාණය වේවි. එම මාර්ගගත ප්‍රශ්ණාවලියේ අඩංගු ප්‍රශ්න පහත පරිදි වේ.

        1)  දත්ත යනු මොනවාද?
        2)  තොරතුරු යනු මොනවාද?
        3)  තොරතුරුවල ඇති වැදගත්කම කුමක්ද?
        4)  පද්ධතියක් යනු කුමක්ද?
        5)  තොරතුරු පද්ධතියක් යනු කුමක්ද?
        6)  ප්‍රධාන තොරතුරු පද්ධති වර්ග 2 මොනවාද?
        7)  අත්යුරු තොරතුරු පද්ධතියක් යනු කුමක්ද?
        8)  අත්යුරු තොරතුරු පද්ධතියක ප්‍රධාන ලක්ෂණ මොනවාද?
        9)  අත්යුරු තොරතුරු පද්ධතිවල ඇති අවාසි මොනවාද?
10) අත්යුරු තොරතුරු පද්ධතිවලට උදාහරණ දෙන්න.
11) පරිගණක පාදක තොරතුරු පද්ධතියක් යනු කුමක්ද?
12) පරිගණකපාදක තොරතුරු පද්ධතියක ප්‍රධාන ලක්ෂණ මොනවාද?
13) පරිගණකපාදක තොරතුරු පද්ධතියක ඇති වාසි මොනවාද?
14) පුස්තකාල පද්ධතියක් පරිගණකගතව තිබීමෙන් ලබා ගත හැකි
වාසි මොනවාද?
15) පරිගණක පාදක තොරතුරු පද්ධති සදහා උදාහරණ කිහිපයක් 
දක්වන්න.
16) අත්යුරු පද්ධති හා පරිගණක පාදක තොරතුරු පද්ධති අතර ඇති වෙනස්කම් වගු ගත කරන්න.


පාඩම සම්පාදනය - මනෝජ් කුලරත්න
(ICT විෂය භාරගුරු, ආචාර්ය ඇන්.ඇම්.පෙරේරා ම.ම.වි. - යටියන්තොට)
( manojdhananjaya@gmail.com   071 5201089 )

මෙම පාඩමට අදාළ මාර්ගගත ප්‍රශ්ණාවලියට පිළිතුරු සපයන්න.

(Google forms වෙනම පිටුවක ලබා ගැනීමට  - https://tinyurl.com/paddathimcq2)