Sunday, March 29, 2020

11 ශ්‍රේණිය - තොරතුරු පද්ධති 03 කොටස - තොරතුරු පද්ධතියක් යනු කුමක්ද?


තොරතුරු පද්ධතියක් යනු කුමක්ද?



අද දින අප හමුවන්නේ පද්ධති පාඩමේ තුන්වන කොටස සමගයි. මෙම පාඩම් කියවන ඔබ අනිවාර්නයෙන්ම මෙහි දක්වා ඇති අභ්‍යාසයන්ද කිරීමට අමතක කරන්න එපා. ඔබට ඒවා අන්තර්ක්‍රියාකාරී ලෙස කරන්න පුළුවන්. ඒ කියන්නේ අන්තර්ජාලය හරහා ඒ මොහොතේම සිදුකිරීම හා පිළිතුරු ලබා ගැනීම කරන්න පුළුවන්.
මම මේ පාඩම විස්තර කිරීමේදී මෙහි නිල් පැහැයෙන් දක්වා ඇති කරුණු ඔබ ඉතා හොදින් අවධාරණය කර ගත යුතු කරුණු වෙනවා.
අද තමයි අපේ පාඩමේ වැදගත්ම කොටස. අද අපි කතා කරනවා තොරතුරු පද්ධතියක් කියන්නේ මොකද්ද කියලා..

මුලින්ම බලමු දත්ත හා තොරතුරු පිළිබඳව.

දත්ත හා තොරතුරු කියන්නේ මොනවාද කියලා අපි මීට කලින් 10 ශ්‍රේණියේදී කතා කරලා තියෙනවා. වෙන් වෙන් වශයෙන් ගත් කළ අර්ථයක් දීමට අපහසු අංක, වචන සහ සළකුණු දත්ත ලෙස හදුන්වන්න පුළුවන්. එවැනි දත්ත ගොනු කිරීමෙන් හා සකස් කිරීමෙන් පසු ලබා ගන්නා අර්ථවත් ප්‍රතිඵලය තොරතුරු ලෙස හදුන්වනවා.

තොරතුරුවල ඇති වැදගත්කම කුමක්ද?
තොරතුරුවල ඇති වැදගත්කම වන්නේ ඒවා භාවිතා කර තීරණ ගැනීමට හැකිවීමයි. අප ලෝකයේ වර්තමාන තත්වය ගතහොත් අපි හැමෝම මේ මොහොතේ තොරතුරු පිළිබඳව ඉතා අවදානයෙන් පසුවනවා. ඒ තමයි මේ මොහොතේ පැතිරී යන කොරෝනා වෛරසය පිළිබඳව. අපේ රටේ දැනට පවතින තත්වය ප්‍රවෘත්ති මගින් ප්‍රකාශ කරනවා. එසේ රටේ සමස්ත තත්වය පිළිබඳව ප්‍රකාශ කිරීමට පෙර රටේ විවිධ පෙදෙස් වල දත්ත රැස් කිරීම සිදු කරනවා. ඉන් අනතුරුව එම දත්ත ක්‍රමානුකූලව සකස් කිරීමෙන් තොරතුරු නිර්මාණය කර ගන්නවා.



ඉතිං, ඔබ දන්නවා එසේ ලබා ගන්නා ‍තොරතුරු කොපමණ වටිනවාද කියන කාරණය. ඒ තොරතුරු භාවිතා කර අපිට තීරණ ගන්න  පුළුවන්. මේ මොහොතේ එම වෛරසය මැඩලීම පිළිබඳව ගන්නා තීරණ ගනු ලබන්නේ එම තොරතුරු මත පදනම්වයි.
මීට පෙර අප කතා කළ පරිදි පද්ධතියක් යනු යම් පොදු අරමුණක් සාක්ෂාත් කර ගැනීමට නිරන්තර අන්තර්ක්‍රියාකාරීත්වයෙන් යුතු සංඝටක සමූහයක එකතුවක්.

එසේ නම් තොරතුරු පද්ධතියක් යනු කුමක්දැයි විමසා බලමු.
තොරතුරු පද්ධතියක් කියන්නේ අපි කලින් කතා කරපු පද්ධතියක තියෙන ලක්ෂණ සියල්ලම තියෙන පද්ධතියක්. එහි විශේෂත්වය වන්නේ එය නිර්මාණය වී තිබෙන්නේ දත්ත එක් රැස් කර තොරතුරු බවට පත් කිරීමටයි.
ඒ අනුව දත්ත තොරතුරු බවට පත් කරන පද්ධතියක් තොරතුරු පද්ධතියක් ලෙස හඳුන්වනවා.

අපට සමීපම ස්ථානය වන පාසල ගතහොත් අප පාසලේ තොරතුරු පද්ධති ක්‍රියාත්මක වන අවස්ථා මොනවාදැයි අපි විමසා බලමු.
ඔබ දන්නවා අප පාසලේ කාර්යාලය තුළ සේවක  පිරිසක් දිනපතා පැමිණ විවිධ කාර්යාලයීය කටයුතු වල නිරත වනවා. ඔවුන් පන්තිවලට පැමිණ ඉගැන්වීම, ක්‍රීඩා කටයුතුවලට සහභාගිවීම ආදී කටයුතුවලට දායක වන්නේ නෑ. ඔවුන් සිදු කරන්නේ දිනපතා පාසලේ සිදුවන ක්‍රියාකාරකම්වලට අදාළව දත්ත එක් රැස් කිරීම හා ඒවා සකස් කර ලබා ගන්නා තොරතුරු අවශ්‍ය පාර්ශව වෙත සන්නිවේදනය කිරීමයි. එනම් ගුරුවරුන්ගේ පැමිනීම, සිසුන්ගේ පැමිනීම, විභාග ප්‍රතිඵල විශ්ලේශණය, විවිධ ශීෂ්‍ය සහතිකපත් නිකුත් කිරීම ආදිය ඔවුන් සිදු කරනවා. ඒ අනුව ඔවුන් අයත් වන පද්ධතිය පාසලේදී ක්‍රියාත්මක වන තොරතුරු පද්ධතියක්.
මේ ආකාරයට ඕනෑම සංවිධානයකදී අපිට තොරතුරු පද්ධති දැක බලා ගැනීමට පුළුවන්.
එසේ නම් මෙවැනි තොරතුරු පද්ධති පිළිබඳව විමසා බැලීමේදී අපට දැක ගන්නට පුළුවන් ප්‍රධාන තොරතුරු පද්ධති 2ක් තිබෙන බව. ඒවා මෙසේයි,


තොරතුරු පද්ධති වර්ග
·    අත්යුරු තොරතුරු පද්ධති.(Manual Information System)
·     පරිගණක පාදක තොරතුරු පද්ධති. (Computer Based
    Information System)


අත්යුරු තොරතුරු පද්ධති.



අත්යුරු තොරතුරු පද්ධතියේ මූලික ලක්ෂණය තමයි එවැනි පද්ධතියක දත්ත රැස් කිරීම හා ඒවා සකස් කිරීම පුද්ගලයන් විසින් අතින් සිදු කරනු ලැබීමයි.
මීට අමතරව පහත ලක්ෂණද දැක ගැනීමට හැකියි.
·    දත්ත, තොරතුරු සටහන් කිරීමට කඩදාසි, පෑන් පැන්සල් භාවිත කරයි.
·     දත්ත, තොරතුරු වාර්තා ගබඩා කර තැබීමට කබඩ්, අල්මාරි

ආදිය භාවිතා කරයි.



උදාහරණ වශයෙන් ගතහොත් පාසලක සිසුන් ලියාපදිංචි කර ගැනීමේ පද්ධතිය බැලුවහොත් එහිදී ලිඛිත සටහන් තබමින්, අදාළ වාර්තා කබඩ් ආදියේ ගබඩා කරන ක්‍රමයක් භාවිතා කරයි නම් එය අත්යුරු තොරතුරු පද්ධතියක්.
එම ක්‍රමයේදී සිසුවෙක් සම්බන්ධව සියළු තොරතුරු එනම් ශිෂ්‍ය කාර්ය දර්ශකය, විවිධ ක්‍රීඩා දක්ෂතා, ජයග්‍රහණ ආදිය ලිඛිතව ගබඩා කර තබා ගන්නවා. ඔබ වසර කිහිපයක් අවසාන වී චරිත සහතිකයක් හෝ වෙනත් විභාග සහතිකයක් ඉල්ලා සිටිය විටෙක එය ඒ මොහොතේම ක්ෂණිකව ලබා ගන්න හැකියාවක් තිබේද?
ඔබ දන්නා පරිදි එසේ ලබා ගත නොහැකියි. ඒ සදහා දින දෙක තුනක් යන්නටත් පුළුවන්. එයට හේතුව ඔබෙන් ලබා ගන්නා ඇතුළත්වීමේ අංකය අනුව ඔබට අදාළ ගොනුව සොයා ගැනීම සඳහා යම් කාලයක් ගත වීමයි. එසේම ඔබගේ පැරණි වාර්තා විවිධ අංශවලින් ලබා ගැනීමට සිදුවෙයි.
මේ අනුව බැලූ කළ අත්යුරු තොරතුරු පද්ධතියක ආවේණික දුර්වලතා රැසක්ද තිබෙනවා.

අත්යුරු තොරතුරු පද්ධතියක ආවේණික දුර්වලතා.
·     දත්ත ඇතුළත් කිරීමට හා තොරතුරු සකස් කර ගැනීමට වැඩි
කාලයක් ගතවීම.
·     සකස් කර ලබා ගන්නා තොරතුරුවල නිවැරදිතාවය පහළ
අගයක් ගැනීම.
·     පහළ කාර්යක්ෂමතාවය.
·     තොරතුරු ප්‍රතිදානය කර ගැනීම සඳහා වැඩි කාලයක් ගතවීම.
 
අපි පාඩම බොහෝ වේලා සාකච්ජා කළ නිසා දැන් සූදානම් වන්නේ ඔබ කව්රුත් දන්නා චාලි චැප්ලින්ගේ වීඩියෝවක් නරඔන්නයි. විනෝදයටම නෙවෙයි. මේක නරඔන විට අත්යුරු පද්ධතියක සමහර දුර්වලතා තේරුම් ගන්නත් පුළුවන්. (මේක නිර්මාණය කරලා තියෙන්නේ අත්යුරු පද්ධති සම්බන්ධයෙන්ම නෙවෙයි. හැබැයි කර්මන්තශාලාවකදි සමහර කාර්යයන් මිනිස් අතින් කරන්න ගියහම වෙන අකරතැබ්බයන්  මෙකේ තියෙනවා)


අපි දැන් තවත් අත්යුරු තොරතුරු පද්ධති කිහිපයක් විමසා බලමු.
     ·       පාසලේ ශීෂ්‍ය නාමලේඛණය ලකුණු කිරීමේ පද්ධතිය.
     ·       අත්යුරු පුස්තකාල පද්ධතිය.
     ·       පාසල් වත්කම් සටහන් තබන ඉන්වෙන්ට්‍රි පද්ධතිය.
     ·       පොත් තැබීම. (ව්‍යාපාර ආයතනවල ගනුදෙනු වාර්තා තබා ගැනීම)

අත්යුරු පද්ධතිවල ලක්ෂණ හදුනා ගැනීමට අපි තවත් උදාහරණයක් විස්තර සහිතව බලමු.
ඔබේ පාසලේ පුස්තකාලයේ කටයුතු සිදු වන්නේ පුද්ගලයන් අතින් ලිඛිතව නේද? එසේ නම් එය අත්යුරු තොරතුරු පද්ධතියක්. ඔබ පුස්තකාලයට ගොස් යම් පොතක නමක් හා එහි කතෘවරයා පිළිබඳ පැවසූවිට ඔබට එම පොත ඒ මොහොතේ තිබේද හෝ නැතිද යන්න ඒ මොහොතේම දැන ගත හැකිද? පිළිතුර නැත යන්න නේද? එයට හේතුව ඔබේ ප්‍රශ්නයට අදාළ පිළිතුර ලබා ගැනීමට ඒ සම්බන්ධව ලිඛිත වාර්තා පොත් පත් වලින් පරීක්ෂා කළ යුතු වීමයි.

අපි දැන් බලමු පරිගණක පාදක තොරතුරු පද්ධතියක් කියන්නේ මොකද්ද කියලා.

පරිගණක පාදක තොරතුරු පද්ධති. (CBIS)



පරිගණක පාදක තොරතුරු පද්ධතියක ඇති ප්‍රධානම ලක්ෂණය වන්නේ පරිගණක ආශ්‍රයෙන් දත්ත තොරතුරු බවට පත් කිරීමයි. අත්යුරු තොරතුරු පද්ධතිය මෙන් පුද්ගලයන් විසින් දත්ත සකස් කිරීම වෙනුවට මෙහිදී ඒ සඳහා මුළුමනින්ම පරිගණක භාවිතා කරනවා.
මීට අමතරව දත්ත, තොරතුරු ගබඩා කර ගැනීමට පරිගණක යොදා ගන්නවා.





උදාහරණයක් වශයෙන් පරිගණක පාදක පාසල් පුස්තකාල පද්ධතියක් පිළිබඳව සිහිපත් කර බලමු.
ඔබ දැන් සිහියට නගා ගත යුතුයි ඔබේ පාසලේ තිබෙන හෝ තිබිය හැකි පරිගණක පාදක පාසල් පුස්තකාල පද්ධතිය සම්බන්ධව. එම පුස්තකාලයේ පොත් පත් මනාව අසුරා තිබෙනවා. පුස්තකාල කාර්ය මණ්ඩලයේ සිටින්නේ පුස්තකාලයාධිපතිත් සමග තවත් එක් පුද්ගලයෙක් පමණයි. ඔබ පුස්තකාලාධිපති වෙත යන්නේ තීරු කේතයක් මුද්‍රණය කර ඇති කුඩා පුස්තකාල කාඩ්පත රැගෙන. එම කාඩ්පත පුස්තකාලයාධිපති විසින් රැගෙන තීරු කේත කියවනය මගින් පරිගණකයට ඔබේ දත්ත ඇතුළත් කර ගන්නවා. ඒ මගින් ඔබ පුස්තකාලයේ සාමාජිකයකු බව තහවුරු වන අතර ඔබ මීට පෙර ලබාගත් පොත් සම්බන්ධ විස්තරද ඔහු දැන ගන්නවා. පසුව ඔබට ඒ මොහොතේ ලබා ගත යුතු පොත් පත් ලබා ගැනීමට පොත් රාක්ක වෙත යා හැකියි. නමුත් ඊට පෙර ඔබට පුළුවන් එම පොතේ නම හෝ කතෘවරයාගේ නම වැනි දත්තයක් පුස්තකාලාධිපතිට ලබා දී එම පොත පුස්තකාලයේ පොත් අතර තිබේද එසේම මේ මොහොතේ එය කිසිවෙකු විසින් රැගෙන ගොසින්ද යන්න දැන ගත හැකියි. එය තිබේ නම් ඒ පොත පුස්තකාලයේ තිබෙන ස්ථානය දැන ගැනීමටද හැකියි.
එවිට එම පොත රැගෙන පුස්තකාලාධිපති වෙත භාර දිය යුතුයි. පුස්තකාලාධිපති විසින් එම පොතෙහි ඇති තීරු කේතය, තීරු කේත කියවනය මගින් කියවා එම දත්ත ඉතා ඉක්මනින් පරිගණකයට ඇතුළත් කරයි.
එසේ නම් ඔබට දැන් පැහැදිලි ඇති පුස්තකාල තොරතුරු පද්ධතිය පරිගණකගත වීමෙන් ඉතා ඉක්මනින් හා පහසුවෙන් පුස්තකාල දත්ත වාර්තා තබා ගැනීමටත් සාමාජිකයකුට ඉතා ඉක්මනින් පොත් ලබා ගැනීමත් කළ හැකි බව.
මෙවැනි පුස්තකාල තොරතුරු පද්ධතියක් තව දුරටත් දියුණු කිරීමෙන් පුස්තකාලය මාර්ගගත පද්ධතියක් (online system) ලෙස සැකසීමෙන් සාමාජිකයන්ට දුරස්ථව සිට පුස්තකාල සේවා කිරීම කළ හැකිය. එසේම සාමාජිකයන්ට e-books ලබා දීම කළ හැකියි.
ඔබ කල්පනා කර බැලුවොත් වර්තමාන ලෝකයේ තත්වය කොරෝනා නම් වෛරස රෝගය නිසා එය බෝවීමේ අවධානම ඉහළ යාමත් සමග ලංකාව ඇතුළු ලොව බොහෝ රටවල් සිය ජනතාව නිවෙස් වෙත ම රදවා තිබෙනවා. මෙවන් මොහොතක එදිනෙදා කටයුතු කරගෙන යාමේදී ඒ ඒ ආයතනවල පරිගණකගත තොරතුරු පද්ධතියක් තිබීම ඉතා වැදගත් වනවා.
මෙවැනි පරිගණක පාදක තොරතුරු පද්ධති තිබෙන තවත් අවස්ථා කිහිපයක් බලමු.
·    ව්‍යාපාර ආයතනයක භාණ්ඩ අලෙවි කිරීමේ හා තොග පාලනය කිරීමේ පද්ධති.
·       ස්වයංක්‍රීය ටෙලර් යන්ත්‍ර පද්ධති.
·       පරිගණක පාදක ගිණුම්කරණ පද්ධති.
·       ඇගිලි සළකුණු කියවීමේ පද්ධති.
·       පරිගණකගත බැංකු පද්ධති.

මෙසේ විස්තර කළ පරිගණක පද්ධති කිහිපයක් නැරඹීම සඳහා ඔබට පහත You Tube චැනලය වෙත යා හැකියි.
·       ATMපද්ධතිය - 

·       ඇගිලි සළකුණු කියවීමේ පද්ධතිය -


·       තීරු කේත කියවන පද්ධතිය -



අපි දැන් අත්යුරු පද්ධති හා පරිගණක පාදක තොරතුරු පද්ධති අතර ඇති වෙනස්කම් වගුගත කර මේවායේ වෙනස්කම් සන්සන්දනය කරමු.
අත්යුරු පද්ධති
පරිගණක පාදක තොරතුරු පද්ධති
අතින් දත්ත සකස් කරන නිසා දෝෂ වීමේ ඉඩකඩ වැඩිය.
වැඩසටහනකට අනුව නිසා දෝෂ ඇතිවීම අවමය.
තොරතුරු සැකසීමට වැඩි කාලයක් ගත වේ.
අඩු කාලයකින් සැකසිය හැක.
දත්ත ගබඩා කිරීමට වැඩි ඉඩක් වැය වේ.
දත්ත ගබඩා කිරීමට අඩු ඉඩක් වැය වේ.
දත්ත සඳහා අඩු ආරක්ෂාව.
උපස්ථ, මුරපද ආදියෙන් දත්ත සඳහා ආරක්ෂාව.

අදට අපි අපේ පාඩම අවසන් කරමු.

දැන් ඔබ පහත ඇති ප්‍රශ්ණවලට පිළිතුරු යොමු කරන්න.

(Microsoft Forms වෙනම පිටුවක ලබා ගැනීමට - https://tinyurl.com/paddathi2 )


ඔබේ සටහන් පොත රැගෙන ඒවා සටහන් කර ගන්න. එවිට මේ පාඩම සඳහා අවශ්‍ය සටහන නිර්මාණය වේවි. එම මාර්ගගත ප්‍රශ්ණාවලියේ අඩංගු ප්‍රශ්න පහත පරිදි වේ.

        1)  දත්ත යනු මොනවාද?
        2)  තොරතුරු යනු මොනවාද?
        3)  තොරතුරුවල ඇති වැදගත්කම කුමක්ද?
        4)  පද්ධතියක් යනු කුමක්ද?
        5)  තොරතුරු පද්ධතියක් යනු කුමක්ද?
        6)  ප්‍රධාන තොරතුරු පද්ධති වර්ග 2 මොනවාද?
        7)  අත්යුරු තොරතුරු පද්ධතියක් යනු කුමක්ද?
        8)  අත්යුරු තොරතුරු පද්ධතියක ප්‍රධාන ලක්ෂණ මොනවාද?
        9)  අත්යුරු තොරතුරු පද්ධතිවල ඇති අවාසි මොනවාද?
10) අත්යුරු තොරතුරු පද්ධතිවලට උදාහරණ දෙන්න.
11) පරිගණක පාදක තොරතුරු පද්ධතියක් යනු කුමක්ද?
12) පරිගණකපාදක තොරතුරු පද්ධතියක ප්‍රධාන ලක්ෂණ මොනවාද?
13) පරිගණකපාදක තොරතුරු පද්ධතියක ඇති වාසි මොනවාද?
14) පුස්තකාල පද්ධතියක් පරිගණකගතව තිබීමෙන් ලබා ගත හැකි
වාසි මොනවාද?
15) පරිගණක පාදක තොරතුරු පද්ධති සදහා උදාහරණ කිහිපයක් 
දක්වන්න.
16) අත්යුරු පද්ධති හා පරිගණක පාදක තොරතුරු පද්ධති අතර ඇති වෙනස්කම් වගු ගත කරන්න.


පාඩම සම්පාදනය - මනෝජ් කුලරත්න
(ICT විෂය භාරගුරු, ආචාර්ය ඇන්.ඇම්.පෙරේරා ම.ම.වි. - යටියන්තොට)
( manojdhananjaya@gmail.com   071 5201089 )

මෙම පාඩමට අදාළ මාර්ගගත ප්‍රශ්ණාවලියට පිළිතුරු සපයන්න.

(Google forms වෙනම පිටුවක ලබා ගැනීමට  - https://tinyurl.com/paddathimcq2)



Saturday, March 28, 2020

ICT 11 ශ්‍රේණිය - ගැටළු විසඳීම සඳහා ක්‍රමලේඛ ලිවීම - පුනරීක්ෂණ 01

ICT 11 ශ්‍රේණිය - ගැටළු විසඳීම සඳහා ක්‍රමලේඛ ලිවීම - පුනරීක්ෂණ 01

ගැටළු විසඳීම සඳහා ක්‍රමලේඛ ලිවීම පාඩමේ ව්‍යාජ කේත කොටස සහ තවත් කොටස් කිහිපයක් ආවරණය කරයි.
බහුවරණ ප්‍රශ්ණ හා පිළිතුර ලිවිය යුතු රචනාමය ප්‍රශ්නවලින්ද යුක්ත වේ.
click on following link.
https://tinyurl.com/gataluvisadeema1



තොරතුරු පද්ධති - පැවරුම් අංක 01 (බහුවරණ)

තොරතුරු පද්ධති පාඩමේ පළමු අභ්‍යාසය සඳහා පහත ප්‍රශ්න පත්‍රයට මාර්ගගතව පිළිතුරු සපයන්න.
https://tinyurl.com/paddathi1
තොරතුරු පද්ධති

Tuesday, March 24, 2020

11 ශ්‍රේණිය - තොරතුරු පද්ධති - 02 කොටස.

පද්ධතියක් යනු කුමක්ද? පද්ධතියක මූලික ලක්ෂණ.
අපි මුලින්ම බලමු පද්ධතියක් කියන්නේ   මොකද්ද කියලා. ඔයාලා පද්ධතිය කියන වචනය විවිධ අවස්ථාවලදි අහලා ඇති.මිනිස් සිරුර ආශ්‍රිතව ආහාර ජීර්ණ පදධතිය, ශ්වසන පද්ධතිය වගේ අවස්ථාවල වගේම ප්‍රවාහන පද්ධතිය, බැංකු පද්ධතිය, ජලාපවාහන පද්ධතිය වගේ අවස්ථාවල දීත් ඔබ මේ වචනය අහලා ඇති. ඔබ දන්නවා මේ මොහොතේ අපේ රටේ මෙවැනි පද්ධති බොහෝමයක් අකර්මණ්‍ය වයි පවතින්නේ..ඉතිං මොකද්ද මේ පද්ධතියක් කියලා කියන්නේ….
පද්ධතියක් පිළබඳ විමසා බැලීමේදී අපට වැටහෙන එක් කාරණයත් තමයි පද්ධතිය කියන එක යම් කිසි එක දෙයක් පමණක් අඩංගු දෙයක් නෙවෙයි..එය විවිධ දේවල් නැතිනම් විවිධ කොටස්වල එකතුවක් විය යුතුයි..ඒ වගේම විවිධ දේවල් නැතිනම් කොටස් ගොඩක් තිබුණත් ඒවා අතර මනා අන්තර් සම්බන්ධතාවයක්ද තිබිය යුතුයි..එසේම පද්ධතියක් විසින් ඉටුකරන යම් කාර්ය සමුදායකුත් තිබිය යුතුයි.
අපි උදාහරණයක් වශයෙන් ගතහොත් මිනිස් සිරුරේ ඇති ආහාර ජීර්ණ පද්ධතිය. එය අවයව රාශියක එකතුවක්. දත්, දිව, කුඩා බඩවැල් හා මහ බඩවැල් ආදී වශයෙන්..එසේම මෙම අවයව අතර මනා සම්බන්ධතාවයකුත් තිබෙනවා..තව වැදගත් කාරණයක් තමයි මේ අවයව එකිනෙකාට පැවරී ඇති යම් කාර්යයක් සම්පූර්ණ කරනවා..ඔබට ආහාරයක සුවඳක් දැනෙන විටරස නහර පිනා ගොස් කටට කෙළ උනනවා...එයයි ආහාර ජීර්ණ පද්ධතියේ ක්‍රියාකාරිත්වයේ ආරම්භය.ඉන් පසු ඔබ ආහාර ගන්නා මොහොතේ දත් මගින් ඒවා කුඩා කොටස්වලට වෙන් කර දෙනවා..එසේ කුඩා කොටස්වලට වෙන් කරන අතරේ ආමාශය ආහාර භාර ගැනීමට සූදානම් වෙනවා..ආහාර ජීර්ණයට   අවශ්‍ය විවිධ එන්සයිම වර්ග ආමාශයට එකතු වෙනවා. ඒ අනුව පැහැදිලියි එක් එක් අවයව තම කාර්යය සම්පූර්ණ කරන විට අනෙකුත් අවයව සමගද සම්බන්ධවයි එම කාර්යය සම්පූර්ණ කරන්නේ..ආහාර ජීර්ණ පද්ධතියේ එම සියළු අවයව තමාට හිමි කාර්යය සම්පූර්ණ කරන විට පද්ධතියේ සමස්ත අරමුණ ඉෂ්ට වෙනවා. එනම් මනාව ආහාර ජීර්ණය කර දීමයි. යම් හෙයකින් එක් අවයවයක් හෝ තම කාර්යය සම්පූර්ණ කිරීමට ආපාහොසත් වුවහොත් සිදු වන්නේ කුමක්දැයි ඔබ හොඳින්ම දන්නා අත්දැක ඇති කාරණයක්. මා මෙසේ විස්තර කළ කරුණු පහත පරිදි සාරාංශගත කර දැක්විය හැකියි.









මේ අනුව පද්ධතියක් යන්න පහත පරිදි අර්ථදක්වන්න පුළුවන්.
පද්ධතියක් යනු යම් පොදු අරමුණක් සාක්ෂාත් කර ගැනීමට නිරන්තර අන්තර්ක්‍රියාකාරීත්වයෙන් යුතු සංඝටක සමූහයක එකතුවකි.
පද්ධති සඳහා උදාහරණ- පාසල් පදධතිය, මිනිස් සිරුර, බැංකු පද්ධතිය, රෝහල් පද්ධතිය

පද්ධතියක මූලික අංග ගණනාවක් පවතිනවා. දැන් අපි ඒ පිළිබඳව විමසා බලමු.
ඕනෑම පද්ධතියක ක්‍රියාකාරීත්වය සඳහා විවිධ වූ මූලික දේවල් පිටතින් ලබා දිය යුතු වෙනවා. ඒවා ආදාන ලෙස හදුන්වනවා. එම ආදාන රැගෙන පද්ධතිය විසින් සිදු කරන්නේ විවිධ වූ ක්‍රියාවලීන්ට එම ආදාන භාජනය කිරීමයි. එම ක්‍රියාවලීන් අවසානයේ පිටතට ලබා දෙන ප්‍රතිඵලයක්ද තිබෙනවා.අපි එය ප්‍රතිදානය ලෙස හඳුන්වනවා.



උදාහරණයක් ගතහොත් පාසල් පද්ධතියට අවශ්‍ය ආදාන වන්නේ පලමුව එහි ඉගෙනුම ලබන ළමුන්, එ වගේම පන්ති කාමර, විද්‍යාගාර, පෙළ පොත්, පරිගණක විද්‍යාගාර ආදිය ද එයට අවශ්‍ය ආදාන වෙනවා.
එසේ නම් පාසල් පද්ධතියේ පවතින සැකසීම් නැතහොත් ක්‍රියාවලීන් මොනවාද? 
ප්‍රධානම සැකසීම් වන්නේ ඉගැන්වීම හා ඉගෙනගැනීමයි. එසේම ඇගයීම් කටයුතු සඳහා විභාග පැවැත්වීම, ක්‍රීඩා උත්සව පැවැත්වීම, සාහිත්‍ය උත්සව පැවැත්වීම ආදී සියල්ල පාසල් පද්ධතියේ සැකසීම් වනවා.
අවසානයේදී පාසල් පද්ධතිය මේ සියළු සැකසීම්වලින් පසුව බලාපොරොත්තුවන ප්‍රතිදානය වන්නේ යහපත් උගත් පුරවැසියෙකි.

මේ ආකාරයට හඳුනාගත හැකි පද්ධති කිහිපයක් හා ඒවායේ ආදාන, සැකසීම් හා ප්‍රතිදාන පහත පරිදි හඳුනා ගනිමු.



පාසල් පද්ධතිය හැරුණු කොට වෙනත් පද්ධතියක ආදාන, සැකසීම් හා ප්‍රතිදාන මොනවාදැයි බලමු.




අද දින පාඩමෙන් ඔබ ඉගෙන ගත යුතු මූලික කරුණු මෙසේ දක්වන්නම්.

  • පද්ධතියක් යනු කුමක්ද?
  • පද්ධතියක මූලික ලක්ෂණ මොනවාද?
  • උප පද්ධතියක්/අවයව යනු මොනවාද?
  • පද්ධතියක මූලික සංඝටක මොනවාද?


මේවාය පිළිතුරු ඉහත පාඩම නැවත කියවා ලබා ගන්න...තොරතුරු පද්ධති පාඩමේ මීළග කොටසින් හමු වෙමු..

අභ්‍යාස සඳහා-


Manoj Dhananjaya (ICT teacher @ DR NMP MMV)



Saturday, March 21, 2020

11 ශ්‍රේණිය - තොරතුරු පද්ධති - 01 කොටස


තොරතුරු පද්ධති සංවර්ධන ක්‍රියාවලිය
Information System Development Process


11 ශ්‍රේණියේ පළමු පාඩමේදී අවධානය යොමු වූයේ පරිගණකය මගින් විවිධ ගැටළු විසදීම සදහා අවශ්‍ය ක්‍රමලේඛ නිර්මාණය සම්බන්ධවයි. එහිදී අපි පැස්කල් ක්‍රමලේඛණ භාෂාව භාවිතා කර විවිධ සරල ගැටළු සඳහා ක්‍රමලේඛණ නිර්මාණය කළ බව ඔබට මතක ඇති. එසේම එවැනි ක්‍රමලේඛණ නිර්මාණය පිළිබඳ තවදුරටත් හැදෑරීමෙන් පරිගණක පද්ධති සඳහා අවශ්‍ය මෘදුකාංග නිර්මාණය කළ හැකි බව ඔබ මේ වන විට අවබෝධ කර ගෙන සිටියි.
එසේ නම් ඔබ අනාගතයේදී පරිගණකයට අවශ්‍ය මෘදුකාංග නිපදවන ක්‍රමලේඛකයකු බවට පත්වූයේ යැයි සිතමු. එවැනි අවස්ථාවක ඔබට සිදුවන්නේ විවිධ සංවිධානවල පරිගණක පද්ධති සඳහා අවශ්‍ය මෘදුකාංග නිර්මාණය කර එම පද්ධති සකස් කර දීමටයි.
උදාහරණයක් වශයෙන් ව්‍යාපාර ආයතනයක් විසින් එම ව්‍යාපාරයේ එදිනෙදා ගනුදෙනු වාර්තා කිරීමට මෘදුකාංගයක් ඉල්ලා සිටියහොත් එය නිර්මාණය කර දිය යුතුය. එසේම තවත් විටෙක පාසල් පුස්තකාලයකින් ඉල්ලා සිටියහොත් එම පුස්තකාලයේ පොත් බැහැරදීම් හා භාරගැනීම් වාර්තා කිරීමට ඉල්ලා සිටි විටෙක එය නිර්මාණය කර දිය යුතුය.
මේ ආකාරයට පරිගණක ක්‍රමලේඛකයා විටෙක ව්‍යාපාර ආයතනයකට මෘදුකාංග නිපදවයි. තවත් විටෙක පාසලක කටයුතු කළමණාකරණයට මෘදුකාංග නිපදවයි. එසේම තවත් අවස්ථාවලදී බැංකු පද්ධතියකට, රෝහලකට හෝ හෝටල් පද්ධතියකට අවශ්‍ය මෘදුකාංග නිර්මාණය කරයි.
මෙවැනි විවිධ වූ ආයතන සමග කටයුතු කිරීමට නම් ක්‍රමලේඛකයා සතුව මේ සෑම ආයතනයක් පිළිබඳව ම දැනුමක් තිබිය යුතු බවට ඔබට වටහා ගත හැකිය. උදාහරණයක් වශයෙන් යම් ව්‍යාපාර ආයතනයක කටයුතු පරිගණකගත කිරීම සඳහා මෘදුකාගයක් නිර්මාණය කිරීමට පෙර එම ව්‍යාපාර ආයතනයේ කටයුතු සිදුවන ආකාරය පිළිබඳ මනා දැනුමක් තිබිය යුතුය. පුස්තකාලයකට මෘදුකාංග නිර්මාණයට සූදානම් වන ඔබ පුස්තකාලයේ කටයුතු සිදු වන ආකාරය පිළිබඳ මනා වැටහීමක සිටිය යුතුය.
මෙවැනි තත්වයක් අවබෝධ කර ගත් ඔබ දැන් සිතනුයේ මෘදුකාංග නිර්මාණය කෙසේ වෙතත් මෙවැනි විවිධ ආයතන රැසක් පිළිබඳව තනි පුද්ගලයකු දැනුම ලබා ගෙන සිටින්නේ කෙසේද යන්න පිළිබඳ විය යුතුය. එසේම අනාගතයේදී ක්‍රමලේඛකයකු වීමට සිතා සිටි ඔබ දැන් එය ඉතා අසීරු වනු ඇතැයි උපකල්පනය කර ඇත. එවැනි ආයතනයකට මෘදුකාංග නිර්මාණය කුමන ස්ථානයකින් ආරම්භ කර කුමන පියවර ඔස්සේ යා යුතුද යන්න ද ගැටළුවක් වනු ඇත.
නැත. ඔබ කිසි සේත් අධෛර්යමත් විය යුතු නැත. ඕනෑම සංවිධානයකට නැතහොත් ආයතනයකට අවශ්‍ය මෘදුකාංග නිර්මාණය කර එම පද්ධතිය නිර්මාණය උදෙසා අනුගමනය කළ හැකි පොදු ක්‍රමවේද ක්‍රමලේඛකයන්ගේ පහසුව උදෙසා හදුන්වා දී ඇත.
එම ක්‍රමවේද පිළිබඳව අපි තොරතුරු පද්ධති සංවර්ධන ක්‍රියාවලිය පාඩම යටතේ සාකච්ජා කරමු.

මෙම පාඩමේදී අප පහත සඳහන් කරුණු කෙරෙහි අවධානය යොමු කළ යුතුය.
·      පද්ධතියක් යනු කුමක්ද
·      පද්ධතියක සංඝටක පද්ධති
·      අත්යුරු තොරතුරු පද්ධති හා පරිගණක පාදක තොරතුරු පද්ධති
·      පද්ධති සංවර්ධන ජීවන චක්‍රය
·      පද්ධති සංවර්ධන ජීවන චක්‍ර ආකෘති

අපි මෙම එක් එක් මාතෘකාව පිළිබඳව කරුණු සොයා බලමු. මී ළග බ්ලොග් සටහන හරහා අපි එම මාතෘකා ආරම්භ කරමු.